ගෝලීය ගැටලුවල බලපෑම් අවම කිරීමට සහයෝගීතාව පැවැත්වීමේ අවශ්‍යතාව පිළිබඳව ශ්‍රී ලංකාව අවබෝධයෙන් පසුවන බව විදේශ කටයුතු ඇමැති අලී සබ්රි මහතා ආසියානු සහයෝගිතා සංවාදයේ 18 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීම හමුවේ ප්‍රකාශ කර තිබේ.
අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සමගාමීව පැවති ආසියානු සහයෝගිතා සංවාදයේ (ACD) 18 වැනි අමාත්‍ය රැස්වීමට විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා සහභාගී වී තිබෙන අතර එහිදී මේ බව සඳහන් කර ඇත. ඒ මහතා ඊට සහභාගි වූයේ අසියානු සහයෝගිතා සංවාදයේ වත්මන් සභාපති සහ බහරේන රාජධානියේ විදේශ කටයුතු ඇමැති ආචාර්ය අබ්දුලාතිෆ් බින් රෂීඩ් අල් සයානි මහතාගේ ඇරියුමකට අනුව බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ආසියානු සහයෝගිතා සංවාදය හරහා අභ්‍යන්තර ආසියානු සහයෝගීතාව වැඩි වර්ධනය කිරීමෙහිලා පසුගිය වසරේ ලැබූ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ අවස්ථාව, ‘පශ්චාත් වසංගත තත්ත්වය හමුවේ තිරසර ප්‍රතිසාධනය’ යන තේමාව යටතේ පවත්වන ලද මේ රැස්වීම හරහා විදේශ කටයුතු ඇමැතිවරුන්ට හිමිව තිබේ.
මේ රැස්වීම අතරතුර අදහස් දැක්වූ ඇමැති අලී සබ්රි මහතා, ආසියානු සහයෝගිතා සංවාදය යනු ආසියාවේ රාජ්‍යයන් අතර කලක් පැවති සහයෝගීතාව ප්‍රතිෂ්ඨාපනය කළ හැකි වැදගත් යන්ත්‍රණයක් වන බවත්, සර්ව – ආසියානු වේදිකාවක් වන එහි භූමිකාවන් සහ මූලධර්මයන් හරහා ආසියානු ප්‍රජාවේ කලාපීය සංවර්ධනයට සහ අනාගතය සඳහා දායක විය හැකි බවත් ප්‍රකාශ කර ඇත. පසුගිය වසර දෙක මුළුල්ලේ ආසියානු සහයෝගිතා සංවාදයේ නායකත්වය දැරූ බහරේනය වෙත ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළකර තිබෙන විදේශ කටයුතු ඇමැතිවරයා, එහි අරමුණු ප්‍රවර්ධනය කිරීම සඳහා මීළඟ සභාපතිවරයා ලෙස පත් වූ ඉරානයට උපරිම සහයෝගය දෙන බව සඳහන් කර ඇත.
කලාපීය සංවිධානයක් වන ආසියානු සහයෝගිතා සංවාදය පශ්චාත් කොවිඩ් -19 හමුවේ දරන ප්‍රතිසාධන ප්රයත්න කෙරෙහි අවධානය යොමු කරන බහරේන් ප්රකාශනය විදේශ ඇමැතිවරුන් විසින් මෙහිදී සම්මත කර තිබෙන අතර මේ සංවාදය 2002 වසරේ දී ආරම්භ කර තිබේ. ආසියාවේ විවිධත්වය සහ හරවත් සම්පත් ප්රශස්ත ලෙස භාවිතා කරමින් ආසියානු කලාපයේ ගැබ්ව ඇති ශක්තීන් තහවුරු කිරීම සහ ආසියාවේ තරගකාරීත්වය ශක්තිමත් කිරීම මෙහි අරමුණ වේ.
පශ්චාත් වසංගත තත්ත්වය හමුවේ තිරසර ප්‍රතිසාධනය පිළිබඳ බහරේන් ප්‍රකාශය සකස් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැරූ උත්සාහය ගැන කෘතඥතාව පළකර තිබෙන විදේශ ඇමැතිවරයා පශ්චාත් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ, කලාපීය සංවිධානයක් වන ආසියානු සහයෝගිතා සංවාදය දරන ප්‍රතිසාධන ප්රයත්නයන් බහරේන් ප්රකාශනය හරහා අවධාරණය කිරීම ගැන ප්‍රසාදය පළ කර ඇත.
ආසියානු සහයෝගිතා සංවාදයේ 2030 න්‍යාය පත්‍රයට විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන හරහා ලබාදිය හැකි දායකත්වය සහ කොවිඩ් වසංගතය වැනි ගෝලීය ගැටලුවල බලපෑම් අවම කිරීමට සහයෝගිතාව පැවැත්වීමේ අවශ්‍යතාවය පිළිබඳව ශ්‍රී ලංකාව අවබෝධයෙන් පසුවන බව ද ගැටලු විසඳීම සඳහා වන නව ප්රවේශයන්ගේ අවශ්‍යතාව, කොවිඩ් වසංගතය ලොව පුරා ව්‍යාප්ත වූ වකවානුවේ දී බොහෝ සෙයින් දැනෙන්නට වූ බව ද පෙන්වා දී තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මේ රැස්වීමට සහභාගි වූහ.