Friday, May 9, 2025
Home » පාස්කු දින ප්‍රහා­රය ගැන විවා­ද­යක් යන්නේ දේශ­පා­ලන අර­මුණු වෙනු‌ෙවන්

පාස්කු දින ප්‍රහා­රය ගැන විවා­ද­යක් යන්නේ දේශ­පා­ලන අර­මුණු වෙනු‌ෙවන්

පාර්ලි­මේන්තු මන්ත්‍රී සුද­ර්ශන දෙණි­පි­ටිය

by Gayan Abeykoon
September 23, 2023 1:07 am 0 comment

මහින්ද අලුත්ගෙදර

දේශපාලන අරමුණු ඔසවා තැබීමට පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙණිපිටිය මහතා ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී විවාද කිරීම කාලය කාදැමීමක් බව පෙන්වා දෙන ඒ මහතා විපක්ෂයට අවශ්‍ය වී තිබෙන්නේ එයද තම දේශපාලන අවශ්‍යතාව සඳහා භාවිතා කිරීමට බවද පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට අවස්ථා නවයක දී පාර්ලිමේන්තුවේ විවාද කර තිබෙන බවද පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙණිපිටිය මහතා මෙසේද පැවසීය.

“ඊයේ සහ අද දවස් දෙකම පාස්කු දින ප්‍රහාරය ගැන තමයි පාර්ලිමේන්තුවේ කතා කරන්නේ. දැන් මේ වනවිට 9 වතාවක් පාර්ලිමේන්තුවේ මේ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කර තිබෙනවා. යුද හමුදාවේ හිටපු රණවිරුවෙක් විදිහට මම දකින්නේ මේ සියලුම දේවල් මහජන මුදල් කා දැමීමක් පමණයි. මේ දේශපාලන අරමුණු උඩට ගන්න තමයි මේ හැමදෙයක්ම කරන්නේ. මේ පිළිබඳව කතා කරන්න දවස් දෙකක් අරගෙන, අද පාර්ලිමේන්තුවේ 6.30 විතර වෙනකන් මේ පිළිබඳව කතාබහට ලක්වෙනවා විතරක් නොව කාලය, ශ්‍රමය, මුදල් විශාල ප්‍රමාණයක් වියදම් කර තමයි පාර්ලිමේන්තුව රැස්වෙලා තිබෙන්නේ. මෙය අනවශ්‍ය දෙයක්. හරියට මෙය පරීක්ෂණ කර තිබෙනවා නම් මේ කිසිදෙයක් අපි කතා කරන්න අවශ්‍ය නැහැ. මේ අවස්ථාවේ පාස්කු දින ප්‍රහාරය පිළිබඳව යෝජනාව ගෙනාවේ ඇයි ? දැන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස්වෙලා තිබෙන්නේ.

මානව හිමිකම් කවුන්සිලය රැස්වෙන හැම අවස්ථාවකම කුමක් හෝ දෙයක් මේ රටේ රටට ආදරය නොකරන පිරිස ඉදිරිපත් කරනවා. රටේ මෙවැනි ප්‍රශ්න තිබෙනවා කියලා. රටට කොයිතරම් අපරාධයක් ද මේ කරන්නේ. ඒ වගේම එල්.ටි.ටි.ඊ ඩයස්පෝරාව එක්ක එකතුවෙලා චැනල් 4 නාලිකාව හැමදාම චිත්‍රපටියක් හදනවා. අපි ත්‍රස්තවාදය අවසන් කරන අවස්ථාවේත් ඔය චිත්‍රපටය තිබුණා. මම හමුදාවේ හිටපු කෙනෙක් විදිහට මම දැක්කා හැම අවස්ථාවකම මහින්ද රාජපක්ෂ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා රණවිරුවන් සමඟ එකතුවෙලා යුද්ධය අවසන් කරන අවස්ථාවේ ඇතැම් පිරිසකට දරාගන්න බැරිවුණා. 2009 මැයි 18 වැනිදා ලෝකයේ ම්ලේච්ඡතම, දරුණුම කියන ත්‍රස්තවාදය අවසන් කළා. හැබැයි එල්.ටි.ටි.ඊ ඩයස්පෝරාව මෙය අතහැරියේ නැහැ. ඒ අවසන් කරන්න හදන අවස්ථාවෙත් මෙය නතර කරන්න උත්සාහ කළා. ඒ තරම් මේ පිරිස බලවත් වෙලා සිටියේ.

චැනල් 4 නාලිකාව නොයෙකුත් චිත්‍රපට හදලා මේ මානව හිමිකම් කවුන්සිලයට දැම්මා. මේ දේම තමයි අද වන විටත් සිදු වෙන්නේ. දැන් රාජපක්ෂවරු බලයෙත් නැහැ. රට පාලනය කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා. හැබැයි දැන් තාමත් චැනල් 4 නාලිකාව ගහන්නේ කාටද ? දැන් මේ අපි කරපු දෙවල්වලින් පළිගන්නයි හදන්නේ. ඒකට උඩගෙඩි දෙනවා අපේ රටේ විපක්ෂයත්. පාස්කු දින ප්‍රහාරය වනකොට විපක්ෂයේ සිටි අයයි ආණ්ඩුවේ හිටියේ. දැන් එය අපේ පැත්තට බැර කරනවා. අයි එස් අයි එස් සංවිධානය රාජපක්ෂවරයෙක් බලයට ගේන්න උදව් කරයි ද ? කවද ද එහෙම වෙලා තිබෙන්නේ.

එහෙම දෙයක් වෙලත් නැහැ, හිතලත් නැහැ. තනිකර බොරුවක් කරන්නේ. ඔවුන්ට ඕන මේකට දේශපාලනය ගාවගෙන ඊළඟ මැතිවරණයකට සූදානම් වීමට විපක්ෂයට අවශ්‍ය වෙලා තිබෙන්නේ.

ඒ නිසා මේ රටේ ජනතාවගේ මුදල්, රටේ ජනතාවගේ කාලය මේ සියල්ල විනාශ කරමින් අපි මේ ඇත්තටම කරන්නේ බොරුවක්.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT