මහමොළකරු නවුෆර් මවුලවි – ඇමැති ටිරාන් අලස්
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් සිදු කළ පරීක්ෂණ මේ වන විට අවසන් කර ඇති අතර පරීක්ෂණවලට අනුව මේ වනවිට නඩු දමා අවසන් බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවසීය. එෆ්.බී.අයි. සහ ඔස්ට්‍රේලියානු ෆෙඩරල් එකට අනුව ජාත්‍යන්තරයේ පරීක්ෂණ අවසන් කරමින් මේ ප්‍රහාරයේ මහ මොළකරු ලෙස නවුෆර් මවුලවි නම් කර ඇතැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් විපක්ෂයේ එකඟතාවක් නොමැති නම් අපි සියලුදෙනා එක්ව එකඟතාවකට පැමිණ දඬුවම් දිය යුතු අයට නීතිය ක්‍රියාත්මක කරමු යැයි පවසන බව ද ඇමැතිවරයා පැවසුවේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ පැවැති විවාදයට එක්වෙමින් පිළිතුරු කතාව කරමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. ඇමැතිවරයා මෙසේ ද පැවසුවේය. විමර්ශනයට අදාළ කරුණු ගැන මම අද කතා කරනවා. අබුහින් කියන්නේ කවුද කියලා ප්‍රශ්නයක්. අබුහින්ට උඩින් බුද්ධි අංශයේ ප්‍රධානීන් හිටියා. අබුහින් කියන්නේ මිථ්‍යාවක් නොවේ. එය උපක්‍රමයක්. කොටි සංවිධානයත් මේ විදියට කළා. විපක්ෂ නායකවරයාත් මේකට මුහුණ දුන්නා. ප්‍රේමදාස මහතාගේ කාලයේ බාබු කියන පුද්ගලයා ඇතුළට එව්වා. ඔහු තොරතුරු ගෙන ප්‍රේමදාස මහතා මරා දැමුවා. එහෙම තමයි බුද්ධි අංශ ක්‍රියාත්මක වන්නේ. ඩී.එන්.ඒ. පරීක්ෂාවට රුධිර සාම්පල් 26ක් ගත්තා. ඉන් 11ක් නරක්ව තිබුණා. නරක් වූ ඒවායෙන් නැවත 11ක් ගත්තා. ඉන්පසුව වළ දැමූ අයගේ ඒවාත් එක්ක සාම්පල් 86ක් ගත්තා. ඉන්පසුව තමයි පොසිටිව් වුණේ. අයි.පී. අබුබකර් කිසිම වෙලාවක සහරා ජස්මින්ව වාහනයක දමාගෙන පැහැරගෙන ගිය බවට කිසිදු සාක්ෂියක් නැහැ. විමර්ශන නිලධාරීන්ගේ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට දුන්නා. ඔහුට නඩු දාන්න එපා කියලා. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව නඩු දැම්මා. ඒ අනුව තමයි ඔහු ඉන්ටර්ඩික් වුණේ. වසර කිහිපයක් හිරේ සිට පැමිණ දැන් ඔහු හන්දියක තැඹිලි කපනවා. ජමීල් කියන පුද්ගලයාට ප්‍රශ්නය වෙලා තිබුණේ දුරකතන අංකයක් සම්බන්ධයෙන්. සුරේෂ් සලේ ජමීල්ව නැවැත්වීමට කෝල් කළා කීවා. එහෙම දෙයක් නැහැ. ජමීල්ට ඔහුගේ බිරිඳ විතරයි කෝල් කර තිබුණේ. ඒ දත්ත අපි සතුව තිබෙනවා. නවුෆර් මවුලවිව ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි දෙන්න ගෙන්නුවේ නැත්තේ ඇයි කියලා ඇහුවා. ඒ අහන අයගේම හිතවතුන් නිසා තමයි ඔහු සාක්ෂි දෙන්න නොගෙන්නුවේ. පාස්කු ප්‍රහාරය විමර්ශනය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ව මාරු කළා කීවා. ගෝඨාභය මහතා ජනාධිපතිව මාසයකින් පසුව ශානි අබේසේකර මාරු කළා. හේතූන් කිහිපයක් නිසා මාරු කර තිබුණා. රවී සෙනෙවිරත්න සාමාන්‍ය විදියට විශ්‍රාම ගියා. නමුත් ඔබලා කීවේ මාරු කළා කියලා. නිලධාරීන් 125ක් පමණ මේ විමර්ශනයේ ඉඳලා තිබෙනවා. ඉන් මාරු කර තිබෙන්නේ 4යි. පොලිස් දෙපාර්තමේන්තුවේ අයව විශ්වාස නැහැ කියලා තමයි විපක්ෂය කියන්න හදන්නේ. විමර්ශනයට අදාළව මාරු කළ නිලධාරීන් කවුද කියලා රංජිත් මද්දුමබණ්ඩාර මහතා මට ලිස්ට් එක දෙන්න. මම හොයලා බලන්නම්. මම මේ කියන්නේ ඔෆීෂියල් දේ. ඉන්ෂාෆ් අහමඩ්, ජමීල් ඇතුළු බෝම්බකරුවන් බෝම්බ පුපුරුවා හැරියේ ඇයි කියලා ප්‍රකාශ කර තිබෙනවා. අපි සියලුදෙනාම එක්ව මේ විමර්ශනය නැවත කරමු. ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාව සිටියදී කොබ්බෑකඩුව ඇතුළු කිහිපදෙනකු බිම්බෝම්බවලට හසුව මැරුණා. ප්‍රේමදාස මැරුවා කියලා තමයි ප්‍රචාරය කළේ. වැරදි දෙයක් ප්‍රචාරය කළා. ඒ වගේ දෙයක් තමයි මේ ප්‍රහාරය සම්බන්ධයෙනුත් තිබෙන්නේ. මේ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලනවා. එෆ්.බී.අයි. එකටයි, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් එකයි පවසන්නේ නවුෆර් මවුලවි මහ මොළකරු කියලා. අපේ විදේශ අමාත්‍යාංශයයත් මේ සම්බන්ධයෙන් වොෂිංටන් හරහා විමසීමක් සිදුකළා. ඒ වෙනුවෙන් ලිපියක් ද යොමුකළා. විපක්ෂනායකතුමාගේ කතාවෙදී සැප්තැම්බර් 11 වැනිදා අෙමරිකාවේ ප්‍රහාරය ගැන කතා කළා. අපි සියලු දෙනාම එකතු වෙලා මේ පරීක්ෂණ කර දඬුවම් දිය යුතු පුද්ගලයන්ට දඬුවම් දෙමු. අපි දවස් දෙකක් මේ විවාදය කළා. අපි එකිනෙකාට චෝදනා කළා. නමුත් මේ වෙනුවෙන් සිදුකළ යුතු ප්‍රායෝගික වෙනස්කම් ගැන අපි කවුරුත් කතා කළේ නැහැ. මංගල සමරවීර මහතා ජනමාධ්‍ය ඇමැතිවරයා කාලේ ගුවන් විදුලි නාළිකාවක ගුවන් කාලය එක සමාගමකට දීලා තිබුණා. මුස්ලිම් ජාතිකයින් පිරිසක්ම ඇවිත් ඇමැතිවරයා හමුවී කියලා තිබෙනවා, එය වෙනස් කරන්න කියලා. හේතුව ඒ ගුවන් කාලය ඔස්සේ විකාශය වන්නේ ජනතාවගේ ඔළුව හෝදන දේවල් කියලා. ඒක පරීක්ෂා කළාම කතාව ඇත්ත. ඒ අනුව මංගල ඇමැතිතුමා ඒක නතර කර තිබෙනවා.
නවුෆර් මවුලවිගෙන් සාක්ෂියක්වත් ගෙන නෑ – මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර
නවුෆර් මවුලවි පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු විදියට ඒත්තු ගැන්වීමට කටයුතු කළත් ඔහු කැඳවා සාක්ෂිවත් ගැනීමට කටයුතු කර නැති බව සමඟි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවසීය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල් තබන විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කීය. මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය. හමුදාව යුද්ධයෙන් ජය ගත්තා. හමුදාවට, බුද්ධි අංශයට අපේ ගෞරවය පිරිනමනවා. නමුත් ඒක යොදාගෙන රට තුළ කුමන්ත්‍රණ කිරීමට කටයුතු කරන්නේ නම් ඒකට ඉඩ දිය නොහැකියි. ලෝකයේ රටවල හමුදා කුමන්ත්‍රණ සිදු කර ආණ්ඩු බලය ගෙන තිබෙනවා. පාස්කු ප්‍රහාරය මම දකින්නේ අපේ ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න කළ දෙයක්. 2018 මාර්තුවල නීතිය හා සාමය පිළිබඳ ඇමැතිවරයා ලෙස මම පත් වුණා. මේ සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තා 4ක් ලැබුණා. මේ බෝම්බ පුපුරන විට නීතිය හා සාමය ඇමැති වුණේ මෛත්‍රීපාල සිරිසේන මහතා. නවුෆර් මවුලවි මෙහි මහ මොළකරු විදියට ගේන්න හැදුවා. නමුත් මේ මවුලවිගෙන් කටඋත්තරයක්වත් ගෙන නැහැ. මේ කුමන්ත්‍රණය පිටුපස එළි කරන විට අසාත් මවුලානා හොඳ නැහැ. එහෙම නොවෙන කොට අසාත් මවුලානා හොඳයි. මේ කුමන්ත්‍රණය පටන් ගත්තේ 2015 ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණයේදී. ජනවාරි 06 වැනිදා ආරක්ෂක කමිටුව තිබුණා. පොලිස්පති ඉලංකෝන් මහතා අපට බලය ලබාදීමට කටයුතු කිරීම ගැන මේ වෙලාවේ මම ස්තුති වෙනවා. ඔහු මගේ මිත්‍රයෙක් නොවේ. දින 52 කුමන්ත්‍රණය ආවා. සුරේෂ් සලේ ලංකාවට එනවා. 11 වැනිදා වවුනතිවු සිද්ධියත් වහන්න හදනවා. බුද්ධි අංශයේ නිලධාරීන් මෙය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ප්‍රහාරයක් කියනවා. සහරාන්ලා කළ වැඩක් කියලා පසුව හෙළි වෙනවා. කබීර් හෂීම් මහතාගේ පෞද්ගලික ලේකම්වරයා මේ ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු දුන් නිසා ඔහුට වෙඩි තියනවා. අදටත් ඔහු අබ්බගාතයි. මේ ප්‍රහාරය එල්ල වූ ස්ථානවල එස්.පී.ලා අයින් කරනවා. පරීක්ෂණ කඩාකප්පල් කිරීමේ අරමුණෙන් ඔවුන් අයින් කරනවා. පරීක්ෂණ නොමඟ යවනවා. මේක දේශපාලන කුමන්ත්‍රණයක්.
පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කරන දේශීය යන්ත්‍රණය දූෂිතයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන දේශීය යන්ත්‍රණය දූෂිත හෙයින් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍ය බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය. මෙම ප්‍රහාරය සිදුවී වසර තුනකට අධික කාලයක් ගතවුව ද වින්දිතයින්ට සාධාරණයක් ඉටුව නැති බව ද විපක්ෂ නායකවරයා පැවසීය. එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් සමගි ජන බලවේගය විසින් ඉල්ලා සිටියේ ඒ සම්බන්ධයෙන් කිසිවකුට මඩ ගැසීමට හෝ අපහාස කිරීමට නොව මේ පිළිබඳ සත්‍ය අවබෝධ කර ගැනීමට බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. චැනල් ෆෝ නාළිකාවේ වීඩියෝ පටය හේතුවෙන් පාස්කු ප්‍රහාරය නැවත වතාවක් කරළියට පැමිණ ඇති බව හුවා දක්වන්නට ඇතැමුන් උත්සාහ කළ ද එලෙස සඳහන් කරන්නේ කිසිදු අදහසක් නොමැති නිද්‍රාශීලි මන්ත්‍රීවරුන් විසින් බව ද විපක්ෂ නායකවරයා පැවසීය. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ පැවැති පාස්කු විවාදයට එක්වෙමින් අදහස් දක්වමිනි.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 31 දෙනකු හිටපු ජනාධිපතිවරයාගේ නියෝගයෙන් හදිසියේ මාරු කර යැවීම සහ එහි නිලධාරීන් 700 දෙනකුට පිටරට ගමන් තහනම් කිරීම බරපතළ සැකයට තුඩුදෙන කරුණක් බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් වහාම සිදුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂය නැවත පරීක්ෂණයක් ඉල්ලීම ගැටලුකාරීයි – මන්ත්‍රී සරත් වීරසේකර
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වා, එය අයි.එස්.අයි.එස්. ප්‍රහාරයක් බවට තහවුරු කර තිබියදීත් විපක්ෂය නැවත ජාත්‍යන්තර පරීකෂණයකට යා යුතු යැයි කියනුයේ කුමන හේතුවක් නිසා දැයි යන්න ගැටලුකාරී බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවැසීය.
සුළු ජාතීන්ගේ ඡන්දවලට කෑදරකමේ එවකට බලයේ සිටි යහපාලන නායකයන් මේ ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාව තිබියදීත්, එය වළක්වා නොගෙන අද විපක්ෂයේ හිඳිමින් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සෙවිය යුතු බවට කෑ ගැසීම විහිළුකාරී බව ද මන්ත්‍රීවරයා පැවසුවේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.
කතෝලික ජනතාව ගැන තවමත් අපි ශෝක වෙනවා. අහිංසක පුද්ගලයන් 268ක් මරණයට පත් කළ සහරාන් නම් වූ අන්තවාදියා ගැන අපේ හිතේ තිබෙන්නේ වෛරයක්. ඔහුට උදව් කළ සියලු දෙනා ගැන තිබෙන්නෙත් තරහක්. මේ ත්‍රස්ත ප්‍රහාරය වන බවට දැන දැනත් සුළු ජාතීන්ගේ ඡන්දවලට තිබෙන කෑදරකමින් දේශපාලන වාසි තකා මේ ප්‍රහාරය වළක්වා නොගත් අද විපක්ෂයේ සිටින යහපාලන රජය ගැන අපිට තිබෙන්නේ අප්‍රසන්න හැඟීමක්. සහරාන් කියන ත්‍රස්තවාදියා එල්ල කළ මේ ප්‍රහාරයේ අරමුණ ඒක නොව වෙනත් එකක් ලෙස පෙන්වමින් එක පැත්තකින් වින්දිත ජනතාව නොමඟ යැවීමට විපක්ෂය උත්සාහ දරනවා. මුස්ලිම් අන්තවාදීන් බිහි කිරීමට විපක්ෂය දරන උත්සාහය ගැන අපිට තිබෙන්නේ පිළිකුල් හැඟීමක්. ජාතික ආරක්ෂාව වෙනුවෙන් මගේ ජීවිතයෙන් තුනෙන් දෙකකට වඩා පූජා කර තිබෙනවා. විපක්ෂ නායකයන් ඇතුළු කණ්ඩායම දේශද්‍රෝහීන් ද, දේශ හිතකාමීන් ද කියලා මගේ කතාවෙන් තේරුම් ගන්න පුළුවන්. සිංහල බෞද්ධයකු වන ගෝඨාභයව බලයට ගෙනඒම සඳහා මේ ප්‍රහාරය කරන බවට කොතැනකවත් සඳහන් නැහැ. ආගමික උන්මාදයක් මේක. දේශපාලනයක් ගෑවිලා කියලා හිතන එකත් විහිළුවක්.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගත යුතුයි – ඇමැති විජයදාස රාජපක්ෂ
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අගමැති, විපක්ෂ නායක ප්‍රමුඛ පිරිස් එකට සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගත යුතු බවට ආරාධනා කරන්නේ යැයි අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවැසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැන් වසර හතරක පමණ සිට දිගින් දිගටම කතා කරනවා මිස ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පියවර ගත යුතු බවත් රටක් විදියට ඒ සම්බන්ධයෙන් කනගාටුදායක වන බවත් ඇමැතිවරයා පැවසුවේය.
ඇමැතිවරයා මෙසේ ද පැවසුවේය. වසර හතරහමාරක් පමණ ගතවෙලාත් අපි තාමත් විවාද කරනවා කොහොමද යුක්තිය ඉටු කරන්නේ, කොහොමද ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ කියලා. එක පැත්තකින් රටක් විදියට කනගාටුයි මේ තත්ත්වය පිළිබඳව 2016 නොවැම්බර් මස 18 වැනිදා මේ සභාව තුළ රටේ ආරක්ෂාව ගැන මම ප්‍රකාශයක් කළා. එදා පොලිස්පතිවරයාට මම විරුද්ධ වුණා. ඔහුත් සමඟ මගේ පෞද්ගලික තරහක් නැහැ. එවකට ආරක්ෂක ලේකම්වරයා පත්කිරීම ගැනත් මම විරෝධතාව පළ කළා. අයි.එස්.අයි.එස්. තර්ජනයක් ඇති බවට මම ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේදී ඒ ප්‍රකාශය මම කළා. ඒ ප්‍රකාශය කළාට පසුව මම තරම් වින්දිතයෙක් මේ සිද්ධියට පත් වුණේ නැහැ. ඒ ප්‍රකාශය කළාට පසුව මාස 29 පුරා මට අපහාස කළා. ටික කාලයක් වන විට මම ස්වාධීන වුණා. වත්මන් ජනාධිපතිවරයා මට මේ ඇමැතිකම භාර ගන්නා ලෙස පැවැසුවා. මට ඒ සඳහා හැකියාවක් තිබූ නිසා මම මේ ධුරය භාර ගත්තා. මේ ප්‍රහාරයේ බී වාර්තාව පැය 24ක් තුළ ඉදිරිපත් කළේ නැහැ. දින පහක් හයක් ගත වන තෙක් මේ සිද්ධිය අධිකරණයට පැමිණියේ නැහැ. සහරාන් ගැන සැක සිතීමට ඕනෑ තරම් සාක්ෂි තිබුණා. කාන්තන්කුඩි පල්ලියට ඔහු පළමුවෙන්ම ගැහුවා. මලල්ගොඩ අවිධිමත් කමිටුවක්. එම නිසා එවකට අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුක්ත කොමිසමක් පත් කළා. වනාතවිල්ලුවේ සී ෆෝ කිලෝ 100ක් හමු වුණා. තවත් උපකරණ හමු වුණා. ඒ පිළිබඳව විමර්ශනය කළ නිලධාරීන් ඒ ගැන කටයුතු කළේ නැහැ කියන එක මම හිතනවා. පාස්කු ප්‍රහාරය ගැන දිගින් දිගටම සාකච්ඡා කරනවා. නිසි විභාගයක් කරලා මේක අවසන් කළ යුතුයි. නඩු 42ක් ගොනු කර තිබෙනවා. මේවා ප්‍රමාද නොකර විභාග කළ යුතුයි.
පාස්කු ප්‍රහාරය වළක්වා නොගත්තේ සිරිසේන පාර්ශ්වයයි – මන්ත්‍රී අනුර කුමාර දිසානායක
පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගන්නට අසමත් වූ පාර්ශ්වය මෛත්‍රීපාල සිරිසේනගේ පාර්ශ්වය බව නිශ්චිතව සඳහන් කළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය. එම ප්‍රහාරය වළක්වා ගැනීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර නැති බවට ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේ ද පැහැදිලිව සඳහන් වන බව අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
කෙසේ වුව ද අද වනවිට ඇති කනගාටුදායක තත්ත්වය වන්නේ අපරාධය වළක්වා ගැනීමට නොහැකි වූ හා අපරාධය සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන යන කණ්ඩායම් දෙකම ආණ්ඩුව නියෝජනය කිරීම බව ද අනුර කුමාර දිසානායක මහතා පැවසිය.
බුද්ධි අංශවල දක්ෂතා හෝ රහස් කතා නොකළ යුතුයි – මන්ත්‍රී වජිර අබේවර්ධන
මෙරට බුද්ධි අංශ සම්බන්ධයෙන් දේශපාලකයන් මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු අතර, අපගේ බුද්ධි අංශ ආරක්ෂා කළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය. බුද්ධි අංශවල දක්ෂතා හෝ රහස් තොරතුරු සම්බන්ධයෙන් කතා නොකළ යුතු බවත් ලෝකයේ ඇති රහස් ඔත්තු සේවාවල කිසිඳු තොරතුරක් ඔවුනට අයත් වෙබ් අඩවිවල අන්තර්ගත නොවන බවත් වජිර අබේවර්ධන මහතා පැවසීය.
බුද්ධි අංශවල තොරතුරු වසන් කිරීම ජාතික ආරක්ෂාවේ වැදගත් සිද්ධාන්තයක් බව සඳහන් කළ වජිර අබේවර්ධන මහතා අපගේ බුද්ධි අංශ සම්බන්ධයෙන් දේශපාලකයන් සිදුකරන අනාවරණයන් දකින විට ත්‍රස්තවාදීන් හා ලෝකයේ රහස් ඔත්තු සංවිධානත් සිනහවනු ඇති බව ද පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ බෙදී වෙන්වී ගහ මරා ගතහොත් විනාශ වන්නේ මුළු මහත් ජාතියම බවයි. එමෙන්ම පාස්කු බෝම්බ පිපිරීමෙන් පසුව ආරක්ෂක මණ්ඩලයට සහභාගි වීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට ගිය එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව විනාඩි 25ක් එළියේ කාමරයක වාඩි කරවා තැබූ බව ද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. තමා ද එදින අග්‍රාමාත්‍යවරයා සමඟ ආරක්ෂක අමාත්‍යාංශයට ගිය බව කී වජිර අබේවර්ධන මහතා ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉවසීම ගැන පුදුම හිතුණු බව ද අප වගේ කෙනෙක් නම් ආරක්ෂක මණ්ඩලයේ දොර ඇරගෙන ගිහින් වාඩි වන බව ද හෙතෙම පැවසීය. අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අමාත්‍යංශයට පැමිණ සිටින බව දැනගත් ආරක්ෂක මණ්ඩලයේ කෙනෙක් පැමිණ ‘‘ඔබතුමා දැනට ඔහොම ඉන්න’’ යැයි පැවසූ බව කී අබේවර්ධන මහතා ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, ආරක්ෂක ලේකම් ඇතුළු නිලධාරීන් එතැන සිටි අතර දේශපාලන අධිකාරියේ කිසිවකුත් නො සිටි බව සඳහන් කළේය. ආරක්ෂක මණ්ඩලයේ දොර වැහුණත් රනිල් වික්‍රමසිංහ මහතා පසුව අග්‍රාමාත්‍ය කාර්යාලයට සියලු නිලධාරීන් කැඳවා හවස පහ, හය වන විට ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට ඉඩ සැලැස්සුවා.
දේශපාලන සම්බන්ධයක් තියෙන බව වාර්තාවල කියවෙන්නේ නෑ – ඇමැති කංචන විජේසේකර
පාස්කු ප්‍රහාරය සිදු කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට දැනට පවතින අණපනත් ප්‍රමාණවත් නොවන්නේ නම් ඒවා සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුව කටයුතු කළ යුතු බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවසුවේය. එවකට සිටි නීතිය හා සාමය පිළිබඳ ඇමැතිවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දුන්නේ කාට ද කියලා මේ විවාදය අවසන් වෙන්න පෙර කියනු ඇතැයි තමා අපේක්ෂා කරන්නේ යැයි ද ඇමැතිවරයා පැවසුවේය. ඇමැතිවරයා මෙසේ ද පැවසුවේය. කොමිසම් සභාවේ හෝ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාවේවත් කියවෙන්නේ නැහැ මේ ප්‍රහාරයට දේශපාලන සම්බන්ධතාවක් තිබෙනවා කියලා. ආර්ථිකය ස්ථාවර කර ගනිමින් රටේ ස්ථාවර බව හදාගෙන එන විට එය විනාශ කර දැමීමේ අරමුණෙන් චැනල් ෆෝ කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක වෙනවා. චැනල් ෆෝ සම්බන්ධතාව අපට සොයන්න වෙනවා. පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු යන වෙලාවක ඒවා වෙනස් කිරීමට මේ චැනල් ෆෝ සිද්ධිය බලපෑමක් කරනවා. අපේ බුද්ධි අංශවලට තොරතුරු නොතිබුණා නොවේ. බුද්ධි අංශ ලබාදුන් තොරතුරු ඔස්සේ කටයුතු නොකිරීම තමයි ගැටලුව. එවකට සිටි නීතිය සාමය පිළිබඳ ඇමැතිවරයා රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත නිලන්ත ජයවර්ධන මහතා පිටු දෙකක ලිපියක් යවනවා. ඉන් සහරාන් ගැන දැනුම්වත් කරනවා. මේ ලිපිය ලැබුණු රංජිත් මද්දුමබණ්ඩාර මහතා ගත් තීන්දුව මොකද්ද. ඒ ගැන අපිට ගැටලුවක් තිබෙනවා. දේශපාලන කඳවුරේ අය මේකට සම්බන්ධයි කියලා මම කියන්න උත්සාහ කරන්නේ නැහැ. එදා දේශපාලන කඳවුර නියෝජනය නොකළ ගෝඨාභය, මහින්ද රාජපක්ෂ මහත්වරු නිසා මේ ප්‍රහාරය සිද්ධ වුණා කියලා ඒත්තු ගැන්වීමට විපක්ෂය උත්සාහ කරනවා. සහරාන්ලා එක්ක දේශපාලන කටයුතු කළ පිරිසකුත් හිටියා.
චැනල් ෆෝ වාර්තා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍යයයි – මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය මෙන්ම චැනල් ෆෝ නාළිකාව විසින් නිකුත් කරන ලද ඉසෙයි ප්‍රියා ඝාතනය ඇතුළු විවිධ වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ අවශ්‍ය බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය. රටේ බුද්ධි අංශ, පාලකයන්ගේ න්‍යාය පත්‍රවලට ගැළපෙන ආකාරයට ක්‍රියා කරන බැවින් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍ය බවත් එම ඉල්ලීම සියලු දෙනාම සිදුකළ යුතු බවත් මන්ත්‍රීවරයා පැවසීය.