මහවැලි අධිකාරියේ සේවයේ නියුතු වැඩ බලන ඒකක කළමනාකාරවරයකු ඉඩමක් පැවරීමට අවශ්‍ය කටයුතු සකසාදීම වෙනුවෙන් පුද්ගලයකුගෙන් රුපියල් 75,000 ක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී ඉකුත් 20 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, නුවර පාර, තෝලංගමුව, වරකාපොළ, ප්‍රදේශයේ පදිංචි මහවැලි අධිකාරියේ සේවයේ නියුතු ඒකක කළමනාකරුවෙකි.
මහවැලි අධිකාරියට අයත් ඉඩමක් පැවරීම සඳහා ඊට අවශ්‍ය ලිපි ලේඛන කටයුතු සකසාදීම සඳහා සැකකාර වැඩ බලන ඒකක කළමනාකාරවරයා විසින් තම සේවාදායකයා වන පැමිණිලිකාර පුද්ගලයාගෙන් රුපියල් 75,000ක අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ කොමිසමේ නිලධාරීන් විසින් මෙම සැකකාර කළමනාකාරවරයා අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිසිය සඳහන් කළේය.
මෙම වැටලීම ඉකුත් 20 වැනිදා මහවැලි අධිකාරියේ නොච්චියාගම ඒකක කළමනාකරණ කාර්යාලයේදී සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නොච්චියාගම පොලිසියේ නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.