17 හැවිරිදි තරුණියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් ස්වකැමැත්තෙන් වරද පිළිගත් විත්තිකරුවෙකුට ගාල්ල මහාධිකරණ විනිසුරු කාවින්ද්‍යා නානායක්කාර මහත්මිය වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් පන්දහසක දඩයක් ද වින්දිත කාන්තාවට රුපියල් පනස්දහසක වන්දියක් ද ගෙවීමට නියම කොට සිරදඬුවම වසර පහකට අත්හිටුවනු ලැබුවාය.
මෙසේ දඬුවම් නියම වූයේ උඩුමලගල ගමගේ ඉරන්තක අකලංක නමැති විත්තිකරුවෙකුටය.
යක්කලමුල්ල පොලිස් වසමේදී 2015 මාර්තු 18 වැනිදා 17 හැවිරිදි තරුණියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව ගාල්ල මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර ඇත.
විත්තිකරු මඟහැරුණු දුරකතන ඇමතුමකින් අම්බලන්ගොඩ පදිංචි 17 හැවිරිදි තරුණියක් හඳුනාගෙන ඇති බවත් පසුව ඇයගේ ඉල්ලීම මත අම්බලන්ගොඩට ගොස් ඇය සමඟ යක්කලමුල්ල නිවසට පැමිණ දූෂණය කර ඇති බවත් පැමිණිල්ලෙන් පවසා සිටියේය. විත්තිකරු සහ වින්දිත තරුණිය ද දෙදෙනාම විවාහ වී මේ වනවිට දරුවන් සිටින මවුපියන් බවට පත්ව සිටින නිසා එම කරුණුද සැලකිල්ලට ගෙන මහාධිකරණ විනිසුරුවරිය මෙම දඬුවම නියම කළේය. විත්තිකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ නන්දසිරි ගල්ඔලුව මහතා පෙනී සිටි අතර, යක්කලමුල්ල පොලිසියේ සැරයන් අමරසිරි (35910) මහතා පැමිණිල්ලට සහාය විය.