ගිරිතලේ පුරාණගම පදිංචි 12 හැවිරිදි පිරිමි දරුවකු උණ හැදී ජයන්තිපුර රෝහලට ඉකුත් 20 වැනිදා රාත්‍රී ඇතුළත් කර ඇති අතර, එම රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී දරුවා මියගොස් සිට ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ ගිරිතලේ පුරාණගම මහ පැරකුම් මාවත අංක 76/1 නිවසේ පදිංචිව සිටි සේනාධීර පතිරැන්නැහැලාගේ විජිත නිලක්ෂ නමැති 12 හැවිරිදි දරුවෙකි. මියගිය දරුවා තම මිත්තණිය සමඟ සිට ඇති අතර, දින දෙකක පමණ කාලයක සිට උනෙන් පෙළෙමින් සිට ඇති බව පොලිසිය පවසයි. දරුවා මියගිය දින රාත්‍රීයේම හිඟුරක්ගොඩ හදිසි මරණ පරීක්ෂක වජිරා චූලාණි කරුණාරත්න මහත්මිය ජයන්තිපුර රෝහලට පැමිණ හදිසි මරණ පරීක්ෂණය පැවැත්වූ අතර, සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා පොලොන්නරුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත ගෙන යන ලෙස පොලිසියට නියෝග කර ඇත.
එම නියෝගය අනුව පොලොන්නරුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් පෙරේදා (21) සිරුර කපා පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ දරුවාගේ ස්වාභාවික පියා විසින් මරණය සැකසහිත බව පැවසීම නිසා පශ්චාත් මරණ පරීක්ෂණය අත්හිටුවා ඒ පිළිබඳව හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වූ බව පොලිසිය පවසයි. ඊයේ (22) යළිත් පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට කටයුතු යොදා තිබූ බව මින්නේරිය පොලිසියේ අධිකරණ කටයුතු භාර පොලිස් සැරයන් රත්නායක (68583) මහතා පැවසීය.