අත්තිඩිය වනජීවී රැඳවුම් මධ්‍යස්ථානයෙන් කලු වඳුරු පැටවුන් හතරක් පසුගිය (09) වන දින රාත්‍රියේ සොරා ගත් බවට සැකකරන පුද්ගලයන් දෙදෙනකු ගල්කිස්ස පොලිසියේ විවිධ පැමිණිලි අංශය මඟින් පසුගියදා (19) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය.
මෙම පුද්ගලයන් වත්තල හා හැඳල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 – 30 අතර අයවලුන් බව පොලිසිය කීය. මෙම පුද්ගලයන් දෙදෙනා 09 වන දින රාත්‍රියේ රැඳවුම් මධ්‍යස්ථානයට ඇතුළු වී එහි ආරක්ෂිත කූඩුවල රඳවා සිටි කලු වදුරු පැටවුන් හතර දෙනා ගෝනිවල දමාගෙන එළියට පැමිණ ඇති අතර, ඒ වන විටත් ජාවාරම්කාර ගැනුම්කරු කාර්රථයකින් දොරටුව අභියස රැඳී සිටි බවත්, ඒ අවස්ථාවේදීම එක් පැටවකු රුපියල් තිස් දහසක් බැඟින් රුපියල් එක්‌ලක්‍ෂ විසි දහසක් ලබා දී පැටවුන් රැගෙන ගිය බවත් සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී හෙලි වී තිබේ. එම ජාවාරම්කරු වත්තල, උස්වැටකෙයියාව පදිංචිකරුවකු වන අතර දැනට ප්‍රදේශය හැර පළාගොස් ඇති බවට අනාවරණය වී ඇත.
අත්තිඩිය වනජීවී රැඳවුම් මධ්‍යස්ථානයෙන් සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන කටයුතු සිදු කරන බවත්, ඒ අනුව මීට පෙරද අවස්ථා හතරකදී මෙලෙස වඳුරු පැටවුන් සොරාගෙන ගොස් ඇති බවත් හෙළි වී ඇතැයි ද පොලිසිය කීය. පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ, ඒ අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් ප්‍රදේශය හැර පළාගිය ප්‍රධාන ජාවාරම්කරු හා සොරාගත් වඳුරු පැටවුන්ට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳවත් විමර්ශන කටයුතු සිදු කරන බවයි.
වැඩිදුර පරීක්ෂණ කටයුතු ගල්කිස්ස පොලිස් විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්. අමරසේකර මහතාගේ උපදෙස් පරිදි පොලිස් කොස්තාපල් 92576 විජේසූරිය , 93708 හේමාල් , 94952 බණ්ඩාර යන අය සිදු කරති.