ආසියානු ක්‍රීඩා උලෙළට චීනය බලා පිටත්වූ පළමු කණ්ඩායමෙන් කැපී ගිය බොක්සිං ක්‍රීඩක නිරාජ් විජේවර්ධන අවසන් මොහොතේ චීනය බලා පිටත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කරයි. ජාතික ඔලිම්පික් කමිටු මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ක්‍රීඩකයාගේ දක්ෂතා පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශයට කරන ලද විශේෂ දැනුම්දීමක් සලකා බලා බොක්සිං ක්‍රීඩක නිරාජ් විජේවර්ධනට මෙම අවස්ථාව හිමිව තිබේ.
මෙවර ආසියානු ක්‍රීඩා උලෙළට බොක්සිං ක්‍රීඩාව උදෙසා ක්‍රීඩකයෙකු පමණක් සහභාගී කිරීමට ජාතික තේරීම් කමිටුව කටයුතු කර තිබූ අතර, එහිදී නිරාජ් විජේවර්ධනගේ නම කැපී ගොස් තිබිණි. ජාතික ඔලිම්පික් කමිටු මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගේ තර්කය වූයේ මෙම බොක්සිං ක්‍රීඩකයා පසුගිය ජාත්‍යන්තර තරගවලදී කැපී පෙනෙන දක්ෂතා දක්වා ඇති හෙයින් ආසියානු ක්‍රීඩා උලෙළට සහභාගී කළ යුතු බවය.
මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්තුමා හා ක්‍රීඩා ඇමැතිතුමා කළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව දක්ෂ ක්‍රීඩකයින්ට නිසි තැන ලබාදිය යුතු බවට තීරණය කර ඇත. ආසියානු ක්‍රීඩා තරගවලදී පදක්කම් දිනාගත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අතරට බොක්සිං ක්‍රීඩාව ඇතුළත්වන හෙයින් නිරාජ් විජේවර්ධන ආසියානු ක්‍රීඩා උලෙළට ඇතුළත් කිරීම සාධාරණ බවට නිගමනය වී ඇත. මෙහිදී බොක්සිං ක්‍රීඩක නිරාජ් විජේවර්ධනට ආසියානු ක්‍රීඩා උලෙළේදී යන සියලු වියදම් සම්බන්ධ වගකීම් ජාතික ඔලිම්පික් කමිටුව භාරගෙන ඇත.
නිරාජ් විජේවර්ධන පසුගියදා පැවැති 13 වැනි තායිපේ සිටි කුසලාන ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගත් අතර, අවසන් පූර්ව තරගයේදී තායිවානයේ බොක්සිං ක්‍රීඩක හුවාං ගුවාන්-කුන් හමුවේ පරාජයට පත් විය. එම තරගාවලියේදීද නිරාජ් විජේවර්ධනට එම සංචාරයේ දී අරමුදල් සැපයීම ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව මඟින් ඉටු කළේය.