Tuesday, May 13, 2025
Home » ගොවි ජනතාව ආරක්ෂා කර ගැනීමට නව කෘෂිකාර්මික පිළිවෙත් ක්‍රියාත්මක කරන්න – අස්ගිරි- මල්වතු මහ නාහිමිවරු පවසති

ගොවි ජනතාව ආරක්ෂා කර ගැනීමට නව කෘෂිකාර්මික පිළිවෙත් ක්‍රියාත්මක කරන්න – අස්ගිරි- මල්වතු මහ නාහිමිවරු පවසති

by chanaka
September 24, 2023 3:12 pm 0 comment

රටේ ජනතාව‌ගේ කුසගිනි නිවීමට දහඩිය හෙළන ගොවි ජනතාව ආරක්ෂා කර ගැනීමට රටට සුදුසු නව කෘෂිකාර්මික පිළිවෙත් ක්‍රියාත්මක කරන්නැයි මල්වතු – අස්ගිරි උභය මහාවිහාර නායක ස්වාමින්වහන්සේලා පැවසූහ.

එළැඹෙන මහ කන්නයේ දී වගා කටයුතු ආරම්භ කිරීමට පෙර මහනාහිමිවරුන්ගේ අනුශාසනා හා උපදෙස් ලබා ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (23) මහනුවර දී මහනායක හිමිවරුන් හමු වී සාකච්ඡා කළේය.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් හිටපු මහ ඇමැති සරත් ඒකනායක, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ හා හදබිම අධිකාරියේ සභාපති සරත් විතාන යන මහත්වරු ද සහභාගි වූහ.

මේ වනවිට මෙරට කෘෂිකර්ම කටයුතු සඳහා තරුණයින්ගේ සහභාගිත්වය අඩුවීම සම්බන්ධව අදහස් පළ කළ මල්වතු මහ නාහිමියෝ තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ශණය කර ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි අමාත්‍යවරයාට පැවසූහ.

එමෙන්ම ගොවි ජනතාවගේ අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබා දෙන ලෙසත් ‌ ගොවි ජනතාවට ගොවිතැන එපා වුවහොත් මුළු රටේම ජනතාවට කුසගින්නේ සිටීමට සිදුවනු ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

එමෙන්ම අස්ගිරි මහනායක හිමියන් හමුවී සිදු කළ සාකච්ඡාවේ දී උන්වහන්සේ පැවැති නියඟය තත්ත්වය මෙන්ම ජල හිඟකම හේතුවෙන් මෙරට කෘෂිකර්මාන්තයට සිදුවූ හානිය සම්බන්ධව කරුණු විමසූහ.

එම වගාහානි සඳහා සුදුසු වන්දියක් ගොවිජනතාවට ලබා දෙන ලෙසත් රටේ ජනතාවගේ කුසගිනි නිවන ගොවි ජනතාව ආරක්ෂා කර ගැනීම රජයේ මෙන්ම සමස්ත රටේ ජනතාවගේ වගකීමක් බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වගා කන්නයක් ආරම්භ කිරීමට ප්‍රථම සෑම විටම මහනාහිමිවරුන්ගේ අදහස් හා අනුශාසනා ලබා ගැනීම තම ප්‍රතිපත්තිය බවත් ප්‍රකාශ කළේය.

මහනාහිමිවරුන් පෙන්වා දුන් පරිදි තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට උනන්දු කිරීම සඳහා විශේෂ වැඩ සටහන් දැන් ආරම්භ කර තිබේ. එමෙන්ම වගා හානි වන්දි ලබා දීම සඳහා සිදු කරන තක්සේරූකිරීම් මේ වනවිට අවසන් අදියරේ පසුවෙයි.

වගාහානි තක්සේරූකිරීම් මුලින්ම ආරම්භ කළේ නියඟය නිසා සිදුවූ හානි සඳහා වුවත් දැන් තක්සේරුකිරීම් සිදු කරන්නේ ගංවතුර හා වර්ෂාව නිසා වගාවන්ට සිදුව ඇති හානි සම්බන්ධව බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ලබන මහ කන්නය සාර්ථක කර ගැනීම සඳහා මේ වනවිට අවශ්‍ය සියලු පියවර කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගෙන ඇත. එහෙත් පවතින එල් නිනෝ ක්‍රියාකාරිත්වය නිසා ලබන ඔක්තෝබර් හා නොවැම්බර් මාසවල දී දරුණු ගංවතුරකට හෝ ඉන්පසු යල කන්නයේ නැවත මහා නියඟ තත්ත්වයකට හෝ මුහුණ දීමට සිදුවනු ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

එමනිසා මෙම තත්ත්වයන් ගෙන් සිදුවන හානි අවම කරගැනීමට නම් කළට වේලාවට කුඹුරු වගාවන් ආරම්භ කිරීමටත්, ජලාශවල ඇති ජලය හැකිතරම් කළමණාකරණය කර ගැනීමට ගොවි ජනතාව ද උනන්දු විය යුතුව ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT