‘කෙතරම් දැඩි හදක් වුව ද යම් දවසක දයා දියෙන් ආර්ද්‍ර වී කඳුළු සලන මොහොතක් ඇත.
විදුරු මිණක සේ බබළන ඒ හදවත ඒ මොහොතෙහි අත්ලට ගෙන බලනු මැනව මේ මිහිපිට කිසිම දෙයක් ඒ තරමට සුන්දර නැත.’ යැයි පොතේ සේකර කවි කළේය. මක් නිසාද යත් හදවත සුන්දර වන්නේ ඒ තාලයට වුවත් ලෙඩ වන තාලය පිළිබඳ නම් ඉඟි දෙකක් පසුගිය දෙසතියේ එළි විය.
ගිය වසරේ බදුල්ල පළාත් මහ රෝහලේ පශ්චාත් මරණ පරීක්ෂණ 1887ක් සිදු කර තිබේ. ඉන් රෝගීන් 770 දෙනෙක් මියගොස් ඇත්තේ හෘදයාබාධ හේතුවෙනි. කොළඹ ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂණ උසාවිය මඟින් පසුගිය මාස තුන ඇතුළත සිදු කළ මරණ පරීක්ෂණ 1500 අතරින් තුනෙන් එකක්ම හෘදයාබාධ හේතුවෙන් සිදුව ඇතැයි කොළඹ හදිසි මරණ පරීක්ෂක නීතිඥ ඉරේෂා සමරවීර සඳහන් කර තිබුණි. හෘදයාබාධ හේතුවෙන් තරුණ තරුණියන් මියයෑමේ ප්‍රවණතාව වැඩි වෙමින් පවතින බව ද ඇය කියා තිබේ.
ඒ කියන්නේ මේ රටේ හදවත් දැන් පසුවන්නේ ලෙඩ ඇඳේ බවය. උසට මහතට ඇවිද සිටියාට, රටේ බොහොමයකගේ හදවත් ගිලන්ය. හදවත වූ කලි ඇඟේ හැම තැනටම, ඔක්සිජන් සමඟ රුධිරය බෙදෙන පොම්පය වේ. බුදුදහමට අනුව නම් ඊටත් වඩා එහා වටිනාකමක් හදවතට තිබේ. සිත පවතින්නේ හදවත ඇසුරු කරගෙන හෙයින් සිත සමඟ ද එය බැඳී තිබේ. එහෙව් හදවත මේ තත්ත්වයකට ලක්වූවා කියන්නේ, අප සියලු දෙනා පුද්ගලිකව ඒ සඳහා වගකිව යුතු පැත්තක් තිබේ. සමාජයක් ලෙස ගත යුතු පැත්තක් ද තිබේ.
ප්‍රධාන හෝටල්හි කෑම බීම සඳහා පාවිච්චි කරන තෙල් දෙවරකට වඩා ඒ සඳහා ගන්නේ නැත. ඒ තෙල් ඉවත දැමීම සඳහා වෙනම අසුරා තබයි. මේවා නගර සභා කුණු ට්‍රැක්ටරයට යන්නේ නැත. කෙළින්ම යන්නේ ආමාශය වෙතය. වටේ ඇති චයිනිස් කඩකාරයෝ වෙනම ගාණක් ගෙවා, මේ තෙල් බූලි රැගෙන යන්නේ ෆ්‍රයිඩ් රයිස් සඳහාය. අර තෙල්වලින් මස් ආදිය බැද ඇති හෙයින් එහි ඒ රසය ද ගැබ්ව තිබේ. තෙල් ලාභයට හමුවෙන අතරේ, ඒ රසය සිය කෑම හා මුසු වීම ද හොඳ ලාභයකි. මේ තෙල් විසි කිරීමට හේතුව දෙවරක් බැදගත් පසු එය කිසිසේත්ම මනුෂ්‍ය ආහාරය සඳහා සුදුසු නැති බැවිනි.
අපේ ආහාර රටාව ඇත්තේ ඔය ගණයේය. එහෙම තියෙද්දී දැන දැනම වස කන්නේ අප බැවින්, කෑම කඩේ එකාට ‘දඩේ’ දැමිය නොහැකිය. මේදය අධික ආහාර රටාව නැවැත්වීම පහසු දෙයකි. රසය වනාහි දිවේ අඟල් දෙකකට විනාඩියක් පමණ දැනෙන දෙයකි. ඒ සඳහා වහල් වීම කියන්නේ බඩගින්න නොවේ. මළ පෙරේතකමය.
ඛුද්දක නිකායේ පේතවත්ථුවේ, සාරිපුත්තථේරස්ස මාතු ප්‍රේත වස්තුව නම් කතාවක් ඇත. එහි සඳහන් ප්‍රේතිය සැරියුත් මහ රහත් වහන්සේගේ එක් ආත්මයක අම්මාය. ඇය තම ආහාරය ගැන කියමින් තෙරුන් ඉදිරියේ හඬා වැටෙන්නාය. එබඳු ආහාරයනට නොදෙවැනි ඒවා, සල්ලි ගෙවා අපි කා දමන්නෙමු. හදවත් රෝග කියන්නේ සුළු දෙයකි. මේ කන ඒවායේ හැටියට තව ටික දිනකින් ආහාර මාර්ග ද කඩෙන් ගෙන සෙට් කරගෙන ජීවත් වීමට සිදු වෙනවා ඇත. මේවා අවශෝෂණය තබා, ඇඟක් අහලින් යෑමට සුදුසු තැනක නැත. කවුරුත් කියනා හැටියට ‘දෙකක් එක්ක වත් ගෙදරින් බතක් ගෙනාවා නම්’ වැඩේ හරිය.
පොඩි එවුන් උදේට, දවල්ට කැන්ටිමෙන් කන ඒවා ගැන ද තදින් සිටීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ. එක්කෝ උන් ගිලින්නේ පිටි ගබඩාය. මොන ජාතියට සල්ලි ගෙවා බඩට දාගත්ත ද සියල්ල එන්නේ එක ගෝණියේය. බක්කරේ සියල්ල සඳහා මික්ස් එක ගහන්නේ එකටය. මැද්දට දාන එකෙන් සහ වටේට ගාන එකෙන් ‘බඩු වෙනස් වෙයි’. කැන්ටිමේ දැලේ එල්ලී මේකෙන් මොන ජාතිය ඉල්ලාගෙන කෑවත්, ඒ ජාතිය නම් වැඩි කලක් නීරෝගිව සිටින්නේ නැත. අර විදිහට මරණ වාර්තා වන්නේ ඒ නිසාය.
සමාජයක් ලෙස අපගේ පුරුදු වෙනස් කර ගතහොත්, මේ අලකලංචියෙන් ගැලවී යා හැකිය. පඩිපෙළක් නඟින්නේ නැත. ලිෆ්ට් එකම එන තෙක් සිටිති. අඩි දහයක් යන්නේ ද ත්‍රීවීල් එකෙනි. මේ ජාතියේ පුරුදු වෙනුවට, අසූව දශකයේ අප ගත කළ චර්යාව කරා යන්නේ නම්, හදවත පමණක් නොව මේ රටේ ආර්ථික සෞඛ්‍ය සඳහා ද, අනගි දායාදයක් වනු ඇත. පවුලක වැය බර අඩු කර ගැනීම සඳහා කෑම බිල අඩු කර ගැනීම වැදගත්ය. ඒ වැය බර සඳහා විසඳුම ඇත්තේ වත්ත පිටියේය. මෙවැනි ව්‍යසන සමයක කෑම පිඟානෙන් වැඩේ පටන් ගන්නවා කියන්නේ, ‘රටේ හදවත ගැහෙන රාවය’ ජනතාව තේරුම් ගන්නවා කියන එකය. තව දවස් හතරකින් ලෝක හදවත් දිනය යෙදෙන්නේය. සැප්තැම්බර් 29 වෙනිදාද තවත් දවසක් වගේ අප පසුකරගෙන යා යුතු නැත.
සිගරට් බොන හරක් ඇත්තේ අඩුවෙන් නිසා ඒ ගැන නම් වද විය යුතු නැත. තවමත් බොන එකාට අපේ බදු මුදලින් බෙහෙත් කරන එක නතර කිරීම සඳහා නම් උද්ඝෝෂණයක් දියත් කළ යුත්තේය. අඩි ගැසීම දැන් ඕසෙට ගිහින් හෙයින් ඒ සඳහා ද සමාජයක් ලෙස ඉක්මන් ප්‍රතිකාරයක් අවශ්‍යය. කන්න නැහැ කියා අඬ අඬා බැණ වදින එකා, කඩල ගොට්ටක් සමඟ පාර අයිනේ හිඳ කාලක් කටේ හලාගෙන යන්නේය. එහෙව් අවුල් විසඳාගත හැකි ප්ලෑනක් සමඟ ගේමට එන්ටර් වෙනවා නම් හාට් ඇටෑක් සඳහා සමාජයක් ලෙස අපට ඇටෑක් කළ හැකිය.