Tuesday, December 5, 2023
Home » රනිල්ගේ කතාව කවුරුත් අහලා නෑ !

රනිල්ගේ කතාව කවුරුත් අහලා නෑ !

by sachintha
September 25, 2023 1:03 am 0 comment

තමන්ගේ හිස්කම අනෙකාගේ දිය කඩිත්ත සද්දෙට බොර කිරීමෙන් සඟවා ගත හැකිද? මේ ප්‍රශ්නය අපට සිහිපත් කර සිටියේ, සුපුරුදු පරිදි ශ්‍රී ලංකාව නම්, කුඩා දූපත් රාජ්‍යයේ මිලියන 23ක ජනතාවක් දිවා රාත්‍රී නොතකා දූෂණය කරන ඊනියා ජනප්‍රියවාදී දේශපාලනය විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගිව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැක්වූ අදහස් පිළිබඳ මෙරට ජනතාවගේ අවධානය ඈත් කර දැමීමට යෙදුණු ප්‍රයත්නය හමුවේය.

ඒ සඳහා ඊනියා ජනප්‍රියවාදී දේශපාලන ව්‍යාපාර යොදාගෙන තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගිව සිය ප්‍රධාන දේශනය සිදු කරන අවස්ථාවේ සභා ගර්භයේ සිටි පිරිස ඉවත්ව ඇති බවට හඟවන ඡායාරූපයක්ය. ඒ හරහා ඔවුන් මතු කර සිටියේ ජනාධිපති රනිල්ට ඔය කියන ජාත්‍යන්තර සම්බන්ධතා මොකුත් නැති බවය. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජනවරමක් නොමැති නිසා මේ තත්ත්වය උදා වූ බවත් සඳහන් කර තිබිණ. කොහොම නමුත්, විපක්ෂයේ මේ ඊනියා ජනප්‍රියවාදී දේශපාලන උප්පරවැට්ටියට වැඩි ආයුෂ තිබුණේ නැත. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයේ දැක්වෙන්නේ, රනිල් වික්‍රමසිංහ මහතා නොව ජර්මනියේ චාන්සලර්වරයා වන Olaf Scholz විසින් එම සැසියේදී දේශයනය සිදු කරන අවස්ථාවක් බව තහවුරු වූ නිසාය.

අධිරාජ්‍යවාදීන්ගේ න්‍යාය පත්‍රය

එසේ සාක්ෂි සහිතව තහවුරු වුවත් ඇතමුන් එය තවදුරටත් කරේ තියාගෙන ගියේ මේ අවස්ථාවේ මහා මණ්ඩලය ඇමතීමෙන් රටට අත්වෙන සෙතක් නොමැති බවය. වම්මු කිව්වේ, බයිඩ්න් ඇතුළු අධිරාජ්‍යවාදීන්ගේ න්‍යාය පත්‍රය අනුමත කරන්න යාම වැඩ කරන ජනතාවට සහනයක් නොවන බවය.

ඔය වැනි විකාර කතා ගොන්නක් සමඟ විපක්ෂය පළමුව සිය පාක්ෂිකයින්ගේ මොළ අනුභව කළ අතර අනතුරුව උත්සාහ ගත්තේ පොදු ජන විඥානයම හැඩි කරන්නටය. නමුත්, විපක්ෂය පරාජය වූයේ, ඔවුන් මෙරට දේශ සීමා තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහව පරාජය කරන්න බොරු උස්සගෙන දුවන විට ජනාධිපති රනිල්, ලෝකයේම පීඩිත රාජ්‍යයන්ගේ හඬ බවට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය තුළ පත්ව තිබීමය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සභාව අමතන අවස්ථාව සභාවේ හිටිය ද – නොහිටිය ද කියා අදාළත්වයක් නොමැතිව පෙරළා අධ්‍යයනය කළ යුතු “Home work” රැසක් ඒ තුළ වූ නිසාය.

වඩාත් ඓතිහාසික සිදුවීම වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ ආකාරයට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට පැමිණියේ කියුබානු සංචාරයකින් අනතුරුව වීමය.

නොහික්මුණු හැසිරීම

ඇතැම් විට එදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය අමතන විට, ඉතිහාසයේ ෆිදෙල් කැස්ත්‍රෝ, චේ ගුවේරා වැන්නවුන් ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර වෙත ගෙනා විවේචන වුව සිහිපත් වන්නට ඇත. නමුත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙවර ප්‍රවේශය ෆිදෙල් වැනි හුදු සරල ඇමරිකානු – බටහිර විරෝධයකට සීමා කෙරුණේ නැත.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආමන්ත්‍රණය යොමු වූයේ, පොදුවේ පීඩාවට පත්ව සිටින සියලු රාජ්‍යයන් වෙනුවෙන්ය. එහිදී බලවත්, ප්‍රබල ජාතීන්ගේ නොහික්මුණු හැසිරීම හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු, පීඩාවට පත් රාජ්‍යයන්ගේ අර්බුදයේ ස්වරූපය ජනාධිපතිවරයා හෙළිදරව් කළේය. එයින් නොනැවතුණු ඔහු අර්බුදයන්ට අදාළ විසඳුම් මෙන්ම එකී විසඳුම් ක්‍රියාත්මක කිරීමට ඇති බාධාවන් ද, එකී බාධාවන් ජය ගත හැකි විසඳුම් ද යෝජනා කර සිටියේ ය.

වඩාත් වැදගත් කරුණ වූයේ, මෙකී පීඩිත රාජ්‍යයන්ගේ ඉල්ලීම් අවසන් විග්‍රහය තුළ සමස්ත මානව සංහතියේ, පෘථිවියේ පැවැත්මේ පිළිබඳ අත්‍යවශ්‍ය කොන්දේසියක් දක්වා විධාරණය වූ ආකාරයය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ දේශනයේ පහත උපුටා දැක්වීම් ඊට සාක්ෂි දරනු ඇත.

පෘථිවිය ආරක්ෂා කර ගැනීම

“බ්‍රිජ්ටවුන් මුලපිරීම (Bridgetown Initiative)” සහ අඩු ආදායම්ලාභී රටවල ණය පියවීමේ අවශ්‍යතාවය වැනි ප්‍රධාන කරුණු මෙම සභාවේදී සාකච්ඡා කෙරෙන නමුත්, එයට ලැබිය යුතු අවධානය නිසි පරිදි ලැබෙන්නේ නැහැ. අවාසනාවකට මෙන්, දේශගුණික විපර්යාස, ණය සහන සහ තිරසර සංවර්ධනය යන මේ හා බැඳුණු ගැටලුවලට ප්‍රමුඛත්වය දීමට ආරක්ෂක කවුන්සිලය ද අපොහොසත් වී තිබෙනවා. මෙය අනාගත මානව සංහතියටම බලපානු ලබනවා. පෘථිවිය ආරක්ෂා කර ගැනීම අපගේ ප්‍රමුඛතාවය විය යුතුයි. බෙදීමක් සමඟ යුද්ධයකට යාමට අපට හැකියාවක් නැහැ. මෙම අර්බුදය අවසන් කර ගන්නා තුරු එකිනෙකා වෙනුවෙන් පවතින එදිරිවාදිකම් පසෙක තැබීමට අපට ඇති හැකියාව මත ලෝකයේ සියලුම ජීවී විශේෂවල අනාගතය රඳා පවතිනු ඇත.

අප එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණෙන්නේ පොදු විසඳුම් සඳහා අප තුළ පවතින සහයෝගීතාවය පෙන්වීමටයි. අවදානමට ලක්ව ඇත්තේ එක්සත් ජාතීන්ගේ අනාගතය නොව සමස්තයක් ලෙස අපගේ පෘථිවියේ අනාගතයයි. ජාත්‍යන්තර සබඳතාවයන් පුරා පැතිරී ඇති අවිශ්වාසය මධ්‍යයේ වුවද සාමාජික රටවල්වලට එකට වැඩ කිරීමට හැකි නව ක්‍රමවේදයන් අප විසින් සොයාගත යුතුව ඇත. සංවර්ධනය වෙමින් පවතින ලෝකය සමඟ සහයෝගයෙන් එකට වැඩ කිරීම සඳහා නිත්‍ය සාමාජිකයන් සතුව පවතින කැමැත්ත තුළින් අපට මෙය සාක්ෂාත් කරගත හැකිය.”

78 වන සැසිවාරය

සාමාන්‍යයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ මණ්ඩල සැසියක රාජ්‍ය නායක දේශන බොහෝ විට තිබෙන්නේ සිය රටේ ප්‍රශ්නවලට සීමාවෙන ස්වාභාවයක්ය. නැත්නම්, බලවත් රටවල න්‍යාය පත්‍රය අනුමත කිරීමක්ය. නමුත්, මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අදහස් දැක්වීම ඊට වෙනස් විය. නමුත්, සෑම අංශයක් තුළම අතිශය රාජ­්‍යතාන්ත්‍රික විය. මෙරට නොබැඳි විදෙස් ප්‍රතිපත්තිය වචනවලට සීමාවූවක් නොව, එය අදීන නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් බව කියන්න තරම් ධෛර්යයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සතු විය.

ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමිව පැවැත්වූ, සමුද්‍රීය ජාතීන් සඳහා වන 3 වන ඉන්දු – පැසිෆික් දූපත් රාජ්‍යයන් අතර සංවාදයේ ප්‍රධාන දේශනය සිදු කරමින් දැක්වූ අදහස් සුවිශේෂීය.

ජාත්‍යන්තර සාමය සඳහා වන කාර්නෙගී එන්ඩොව්මන්ට්හි ප්‍රතිපත්ති පර්යේෂණ පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩෑන් බෙයර් විසින් එය මෙහෙයවනු ලැබූ අතර, එහිදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ, ඉන්දු-පැසිෆික් කලාපයේ මහා බල එදිරිවාදිකම් මධ්‍යයේ වූවද ඉන්දියන් සාගරයේ සහ දකුණු පැසිෆික් සාගරයේ දූපත් රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය, ඒවායේ අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත් නොවීම සහ ඔවුන්ගේ අනන්‍ය ප්‍රමුඛතා ආරක්ෂා කිරීම වෙනුවෙන් කලාපයේ සියලුම රටවල් කැපවිය යුතු බවය.

ඉන්දීය සාගරයේ සහ දකුණු පැසිෆික් දූපත් රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා විසින් අවධාරණය කළ අතර ප්‍රධාන ලෝක බලවතුන් අතර එදිරිවාදිකම්වලට මැදිහත්වීමට ඉන්දීය සාගරයේ සහ දකුණු පැසිෆික් කලාපයේ දූපත් රාජ්‍යයන් කැමැත්තක් නොදක්වන බවත් පැවසීය. එසේම මෙම රටවල් සිය සමාජ, ආර්ථික සහ පාරිසරික සංවර්ධනය ඇතුළු ඔවුන්ගේ ප්‍රමුඛතා කෙරෙහි අවධානය යොමු කරමින් තම රටවල ස්වෛරීත්වය සහ ස්වාධීනත්වය පවත්වා ගැනීමට උත්සාහ කරන බව ද මෙහිදී ජනාධිපතිවරයා පැවසීය.

දූපත් ජාතීන්

එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාවෙන් සමන්විත ක්වොඩ් (Quad) රටවල් හා චීනයේ අරමුණුවලට සම්බන්ධ නොවන ඉන්දියන් සාගරයේ සහ දකුණු පැසිෆික් කලාපයේ දූපත් ජාතීන්ට තමන්ටම ආවේණික වූ ප්‍රමුඛතා පවතින බවත් ඊට ගරු කිරීමට කැමති ඕනෑම හවුල්කරුවෙකු සමඟ සහයෝගීතාවය ගොඩනඟා ගැනීමට ශ්‍රී ලංකාව ද කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙහිදී ලංකාවේ විදෙස් ප්‍රතිපත්තිය පිළිබඳව තීරණාත්මක ප්‍රශ්නයක් නැඟිණ. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සෘජුවම පවසා සිටියේ, ශ්‍රී ලංකා රජය ඉන්දියාව හෝ චීනය සමඟ සන්ධානගත නොවන බවත් අන් සියල්ලටම වඩා ශ්‍රී ලංකාවේ අවශ්‍යතා වෙනුවෙන් දැඩිව පෙනී සිටින බවත් ය.

සැබවින්ම වැනෙන්නේ නැතිව මේ ආකාරයට කොයි බලවතා පැමිණියත් ඒ කාටත් ඉදිරියෙන් රටේ ජාතික අභිලාෂ ඇති බව කියන්න ධෛර්යය ශක්තිය ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මේ අදීන නොබැඳි විදෙස් ප්‍රතිපත්තිය නිසාය. ඒ සමඟ කුඩා රාජ්‍යයක් වුවත් එහි භූගෝලීය වැදගත්කම, ගෝලීය ආර්ථික – වෙළඳපොළෙහි නූතන හැසිරීම මත සහ ආසියාව කේන්ද්‍ර කර ගනිමින් එහි නැවත සකස්වීම තුළ ශ්‍රී ලංකාව යනු නොතැකිය හැකි රටක් නොවන බවට මෙතරම් තාර්කික ලෙස සහ උපායමාර්ගික ලෙස ජාත්‍යන්තරය හමුවේ තැබූ නායකයකු මෑත ඉතිහාසයේ සිටියා ද යන්නත් සැක සහිතය.

පම්පෝරි විපක්ෂය

ඊනියා ජාතිවාදී ආගම්වාදී දේශපාලන තුරුම්පුවලින් වාසි ගැනීමට හිතා, ප්‍රසිද්ධ සිද්ධස්ථානවල විදුලි බිල් ගෙවන විපක්ෂ නායකයකු අපට ඇත. ඔහු මිලියන 23ක ජනතාව වෙත විදුලිය නොමිලේ දෙනවා නොකියා, ආගමික ස්ථාන කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් මේ යෙදෙන්නේ ජනතාව ගොනාට අන්දවන කටයුත්තක නොවේද? රටක, ජනතා ප්‍රශ්න ගැන දක්වන උනන්දුව මවා පෙන්වීමට කරන ” ෂූටිං ” මැදට මන්ත්‍රීවරයකු පැමිණීම නිසා, එය තමන්ව පෙනෙන ලෙස නැවත ” ෂූට් ” කරන්න කියන විපක්ෂ නායකයකු වෙතින් ඊට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද ? මහින්ද රාජපක්ෂගේ තොරණ විශාල වන්නේ ඔහුගේ ” හිස් බව ” වැසීමට යැයි කියූ වම්මු දැන් තමන්ගේ හිස්කම ප්‍රදර්ශනය කරමින් මහින්ද රාජපක්ෂ ගැහුවට වඩා විශාල තොරණ ගහන්න ගෙන ඇත. ඊට අදාළ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා සමනය කරගන්න ” දෑකැති මිටි ” යොදා බස් නැවතුම්පොළ ඉදිකරන්න ගෙන ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිව්යෝර්ක් කතාව අහන්න විදෙස් නායකයන් නොසිටි බව කියා ජනතාව නොමඟ යැවුවේ මෙන්න මේ කියන කයිවාරු වමත්, පම්පෝරි විපක්ෂයත්ය. සැබවින්ම ඔවුන් හැමදාම කරේ තමන්ගේ හිස්කම වහගන්න අනෙකාගේ දිය කඩිත්ත සද්දෙට බොර කිරීම ය. නැත්නම් කයිවාරු වමත්, පම්පෝරි විපක්ෂයත් මේ සමයේ වැඩක් හැටියට දෙයක් කළා නම්, ජනාධිපති රනිල් කරන දේ විවේචනය කිරීම පමණය. ඒ හැර කිසිම අයුරකින් රනිල්ගේ වැඩපිළිවෙළට විකල්පයක් ඔවුන් ඉදිරිපත් කර නැත. ඒ වෙලාවට හිතෙන්නේ මේ කයිවාරු වමටත් පම්පෝරි විපක්ෂයටත් රනිල්ගේ වැඩේ බොර කරන කොන්ත්‍රාත්තුව පැවරීමත් රනිල්ගේම වැඩක් ද කියාය. මන්ද රනිල්ට වැඩේ දෙන්න හිතාගෙන අරඹන ඒ හැම වැඩෙන්ම අවසානයේදී ගොඩයන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ වන නිසාය. ජනාධිපති රනිල්ගේ කතාව දැන් නාහපු කෙනෙකුත් නැත.

එස්. එම්. ලියනගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT