Home » රත්තරන් පුතා හොරු අරන් ගියා වගේ තාරුෂගේ මව හඬා වැලපෙයි

රත්තරන් පුතා හොරු අරන් ගියා වගේ තාරුෂගේ මව හඬා වැලපෙයි

by sachintha
September 25, 2023 1:01 am 0 comment

කඹුරුපිටිය මහා විද්‍යාලයෙන් ශිෂ්‍යත්ව විභාගය සමත්ව මාතර සාන්ත තෝමස් විද්‍යාලයට ඇතුල් වූ තාරුෂ දිනුවර කිරම ආර ඔයේ දිය නෑමට ගොස් මිය යෑම

“පවුලේ හිටපු කීකරුම පුතාට මෙහෙම දෙයක් වුණා කියලා කොහොම හිතන්නද දෙවියනේ. දවස් දෙකකට කලින් මට කොන්දෙ කැක්කුමක් හැදිලා රෑ නැගිට නැගිට තුන්පාරක් කොන්දෙ බෙහෙත් තෙල් ගෑවා. එහෙම කරපු රත්තරන් පුතා තමයි මේ හොරු අරන් ගියා වගේ නැති වුණේ.”

පසුගිය 22 වැනිදා නිල්වලා ගඟේ අතු ගංගාවක් වූ කිරමආර ඔයේ දිය නෑමට ගොස් සැඩපහරට හසුව මිය ගිය තාරුෂ දිනුවරගේ මව මෙලෙස විලාප නඟමින් පැවැසුවාය.

කඹුරුපිටිය, උල්ලල ප්‍රදේශයේ පදිංචිව සිටි තාරුෂ දිනුවර කඹුරුපිටිය මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා ශිෂ්‍යත්ව විභාගය සමත්ව වැඩිදුර අධ්‍යාපනය සඳහා මාතර සාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් විය. මිය යන විට 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි තාරුෂ ක්‍රීඩාවට පෙන්වූ දක්ෂතා නිසාම එම විද්‍යාලයේ 14න් පහළ හොකී කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයකු ද විය.

පසුගිය 23 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ හොකී තරගයකට පුහුණුවීම් කටයුතු 22 වැනිදා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවති අතර, එහිදී පෙරවරු 10.30ට පමණ පුහුණුවීම් නිම කර සිසුන්ට ආහාර ගෙන පාසලට යන ලෙස එහි පුහුණුකරු දන්වා තිබේ. ඒ මොහොතේ එක් කණ්ඩායමක් පාසලට ගියත් තාරුෂ පාසලට නොගොස් තවත් මිතුරන් පිරිසක් සමඟ කිරමආරේ දිය නෑමට ගොස් ඇත.

මිතුරන් නව දෙනකු සමඟ කුඹුරුපිටිය, සපුගොඩට ගිය තාරුෂ පළමුව ඔයට බැස තිබේ. එලෙස ඔයට බැස්ස තාරුෂ සැඩපහරට හසුව ගසාගෙන යනවා දුටු මිතුරන් කෑගසද්දී ප්‍රදේශවාසීන් පැමිණ තාරුෂගේ ජීවිතය බේරා ගැනීමට ක්‍රියා කර තිබේ.

මෙහි කිඹුලන් ගැවසෙන බව දැනගත්තත් ප්‍රදේශවාසීන් තම ජීවිත පරදුවට තබා කිරමආරට පැන පැය කිහිපයක් සෝදිසි කළත් තාරුෂ සොයාගත නොහැකි විය.

පසුව කඹුරුපිටිය පොලිසියේ මැදිහත්වීමෙන් මේ සිදුවීම වන අවස්ථාවේ එහි සිටි දරුවන්ගෙන් ද කරුණු විමසා තවදුරටත් සිදු කළ මෙහෙයුමේදී තාරුෂ ඔයට පැන්න ස්ථානයේ සිට මීටර් 500ක් පමණ පහළට වන්න ඔය පතුලේ සිටි තාරුෂ ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන කඹුරුපිටිය මූලික රෝහලට ගෙන ගියත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකියාව නොලැබුණි.

දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ දෙවැන්නා වූයේ තාරුෂය. තාරුෂගේ පියා වන ලක්ෂ්මන් විජිත කුමාර මහතා කඹුරුපිටිය සමෘද්ධි කළමනාකරුවකු ලෙස සේවය කරන අතර, මව වන සන්ධ්‍යා ගුණසේකර මහත්මිය හක්මණ කලාප අධ්‍යාපන කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කරන්නීය.

තාරුෂගේ දේහය රැගෙන ආ මොහොතේ සිට ප්‍රදේශවාසීන්ගෙන් මෙන්ම තාරුෂ ඉගෙනුම ලබමින් සිටි මාතර සාන්ත තෝමස් විද්‍යාලයේ සිසුන් සහ ගුරුභවතුන් නිවෙසට වැල නොකැඩී පැමිණියේය. වෛද්‍යවරයකු වීමේ සිහින දකිමින් සිටි තාරුෂ ජීවන ගමන නිමා කර ඊයේ (24) සවස් යාමයේ සඳහටම මෙලොවින් සමු ගත්තේය.

ජයසිරි පේදුරුආරච්චි – ගන්දර සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT