Sunday, May 11, 2025
Home » මුහුණ ප්ලාස්ටික් බෑගයකින් ආවරණය කර අත් පිටුපසට බැඳ මැලේසියාවේ ශ්‍රී ලාංකික 3ක් ඝාතනය කරලා

මුහුණ ප්ලාස්ටික් බෑගයකින් ආවරණය කර අත් පිටුපසට බැඳ මැලේසියාවේ ශ්‍රී ලාංකික 3ක් ඝාතනය කරලා

by sachintha
September 25, 2023 1:32 am 0 comment

සිරුරු මහල් නිවෙසකින් සොයා ගැනේ

සැකපිට ශ්‍රී ලාංකිකයන් දෙකක් සොයයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේ දී ශ්‍රී ලාංකිකයන් තිදෙනකු ඝාතනය කළ තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සම්බන්ධයෙන් මැලේසියානු පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මියගිය ශ්‍රී ලාංකිකයන් තිදෙනා අවුරුදු 20ත් 40ත් අතර පසුවන්නන් බවට අනාවරණය කරගෙන තිබෙන අතර, මෙම මියගිය තිදෙනාගේ සිරුරු සෙන්තුල් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලාංකික යුවළකට අයත් ගොඩනැඟිල්ලක දෙවැනි මහලේ නි‍ෙවසේ තිබී සොයා ගත් බව ක්වාලාලම්පූර් පොලිස් ප්‍රධානී දටුක් අල්ලුදීන් අබ්දුල් මජිඩ් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

මෙම ගොඩනැඟිල්ලේ පළමු මහලේ කඩ කාමර තිබෙන බවත් ඉහළ මහලේ නි‍ෙවස පිහිටා ඇති බවත් පොලිසිය සඳහන් කර තිබෙන අතර, මියගිය තිදෙනාගෙන් එක් අයෙකු නි‍ෙවස අයිති යුවළගේ පුත්‍රයා බවත් අනෙක් දෙදෙනා නි‍ෙවසේ කුලියට සිටි පුද්ගලයන් දෙදෙනෙකු බවත් ක්වාලාලම්පූර් පොලිසිය ප්‍රකාශ කර තිබේ.

මළ සිරුරු සොයාගන්නා අවස්ථාවේ දී එම මළ සිරුරු එකිනෙක ගොඩ ගසා තිබූ බවත් එම මළ සිරුරුවල අත් පිටුපසට බැඳ මුහුණ ප්ලාස්ටික් බෑගයකින් ආවරණය කර තිබූ බවත් වාර්තා වෙයි.

මීට දින 02කට පමණ පෙර තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු අදාළ නි‍ෙවසට පැමිණ ඇති අතර, ඔවුන් විසින් මෙම ඝාතන සිදු කර පලාගොස් ඇති බවට මැලේසියානු පොලිසිය සිදු කළ මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබේ. අසල්වාසීන්ගෙන් ලද තොරතුරු මත පොලිසිය එම නි‍ෙවසට පැමිණ ඇති අතර, එහිදී හිස් ආවරණය කර, අත් පා බැඳ ඝාතනය කර තිබූ පුද්ගලයින් තිදෙනාගේ මළ සිරුරු සොයාගෙන ඇත.

එම ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ ඡායාරූප ද පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙන අතර, අදාළ සිදුවීම පිළිබඳව මැලේසියානු පොලිසිය විසින් එරට පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය දැනුවත් කර ඇති බවද වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර, ඝාතනයට ලක්වූ හා ඝාතනය සිදු කළ ශ්‍රී ලාංකිකයන් පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT