Home » එජා සමුළුවට ගිය ජනපති ආපසු එයි

එජා සමුළුවට ගිය ජනපති ආපසු එයි

by sachintha
September 25, 2023 12:04 am 0 comment

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගි වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඊයේ (24) ආපසු මෙරටට පැමිණියේය.

මහා මණ්ඩල රැස්වීමට සමගාමීව පැවැති සැසිවාර කිහිපයකටද සහභාගි වූ ජනාධිපතිවරයා සිය නිල සංචාරය ඵලදායි කර ගනිමින් රාජ්‍ය නායකයන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවැති සංවර්ධනය සඳහා මුල්‍යකරණය පිළිබඳ ඉහළ පෙළේ සංවාදයේ ප්‍රධාන දේශනය සිදු කළ ජනාධිපතිවරයා

දේශගුණික අභිලාස පිළිබඳ සමුළුව, තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ 2023 සමුළුව සහ සමුද්‍රීය ජාතීන් සඳහා වන 3 වැනි ඉන්දු – පැසිෆික් දූපත් රාජ්‍යයන් අතර සංවාදයටද එක් වී දේශන පැවැත්වීය.

ජනාධිපතිවරයා නිව්යෝක් නුවරදී අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා හමු වුණු අතර ඉරාන ජනාධිපති ආචාර්ය සෙයිඩ් ඊබ්‍රහිම් රයිසි, දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් , මැලේසියා අගමැති අන්වර් බින් ඊබ්‍රහීම්, නේපාල අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල් මහත්වරුන්ද බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මියද හමුවී ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර, අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා, පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්

පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ්, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර්, නිව්යෝර්ක්හි මෙටා සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති ශ්‍රීමත් නික් ක්ලෙග්, ලෝක බැංකු සභාපති අජේ බංගා මහත්ම මහත්මීන් සමඟ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සහභාගි වීමට අමෙරිකාවේ නිව්යෝක් නුවරට යාමට පෙර ජනාධිපතිවරයා කියුබාවේ පැවැත්වුණු ජී 77 සමුළුවට ද සහභාගි විය.

ශිරෝමි අබයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT