කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ අතරමැදි පන්තිවලට කූට ලේඛන උපයෝගි කර ගනිමින් සිසුන් ඇතුළත් කළ බව කියන සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පෙරේදා (23) පොලිසියට පැමිණි එම විදුහලේ හිටපු විදුහල්පති පී.කේ.ආර්. රණසිංහ නැමැති අය අදාළ ප්‍රකාශය ලබාදෙන අතරතුර පොලිසියට නොදන්වා සිය ජංගම දුරකතනයෙන් තම ප්‍රකාශය පටිගත කිරීම හේතුවෙන් නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ජංගම දුරකතනය පොලිසිය භාරයට ගෙන තිබේ.
සිද්ධිය අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසයට ජංගම දුරකතනය යොමුකර එමගින් ලබා ගන්නා වාර්තාවක් සමඟ නඩු භාණ්ඩයක් ලෙස එය අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.
හිටපු විදුහල්පතිනිය ප්‍රකාශය ලබාදීමට නීතිඥවරයෙකු සමඟ පෙරේදා (23) පෙරවරු 9.00ට පමණ මහනුවර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණ තිබේ. පැය 09ක පමණ කාලයක් ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් පසු යළිත් ඊයේ (24) දින පැමිණ ප්‍රකාශය ලබදෙන ලෙස පොලිසිය ඇයට දැනුම් දී තිබේ.
හිටපු විදුහල්පතිනිය පෙරේදා (23) පොලිසියට පැමිණ ප්‍රකාශය ලබාදෙද්දී ඇගේ අත් බෑගය අසල පුටුවක තබා ඇත. ඇය අසලම තිබූ පුටුව පොලිස් නිලධාරියෙකු මදක් ඈතට කළ අවස්ථාවේ හිටපු විදුහල්පතිනිය යළිත් එම පුටුව ඇය අසලට ගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් සැක සිතී පොලිසිය ගමන් බෑගය පරීක්ෂා කිරීමේ දී එහි තිබූ ජංගම දුරකතනයේ පටිගත වීම ආරම්භ වී තිබී ඇත.
විනාඩි 15ක පමණ කාලයක් එය ක්‍රියාත්මක වී තිබෙන බවට නිරීක්ෂණය වීම නිසා ජංගම දුරකතනය පොලිසිය භාරයට ගෙන තිබේ.
කූට ලේඛන මගින් ශාන්ත අන්තෝනි බාලිකාවේ අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කළ බව කියන සිද්ධියට අදාළව පොලිස් විමර්ශන ආරම්භ කිරීමෙන් පසු විදුහල්පතිනිය එහි සැකකාරියක ලෙස පොලිසිය නම් කරනු ලැබීය. අනතුරුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඇයව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු කාර්යාලයට මාරු කිරීමට පියවර ගැනිණි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ද සිදුකර චෝදනා පත්‍රයක් හිටපු විදුහල්පතිනියට බාර දී තිබේ.