Friday, May 9, 2025
Home » වත්තේගම දොස්තරට පහර දුන් තිදෙනා ඔක්: 2 දක්වා රිමාන්ඩ්

වත්තේගම දොස්තරට පහර දුන් තිදෙනා ඔක්: 2 දක්වා රිමාන්ඩ්

by sachintha
September 25, 2023 12:10 am 0 comment

 

වත්තේගම රෝහලේ වෛද්‍යවරයකුට පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් තිදෙනකු තෙල්දෙණිය මහේස්ත්‍රාත් දේවිකා ඩී. ජයවර්ධන මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් මස 02 දින තෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ වත්තේගම යටවර ප්‍රදේශයේ පදිංචි ජනිත් මදුරංග ජයතිලක, වත්තේගම ධනුෂ්ක රුක්ෂාන් ආරියරත්න සහ හේනේගෙදර ජයතිස්ස යන තිදෙනාය.

මෙම පහර දීමට සම්බන්ධ බවට සැක කරන තවත් අයෙකු මාතලේ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය පවසයි.

සැකපිට අත්අඩංගුවට ගත් තිදෙනා තවත් පිරිසක් සමඟ වත්තේගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු බැලීම සඳහා පසුගිය (21) දා රාත්‍රියේ පැමිණ ඇත. එම අවස්ථාවේ වාට්ටුව තුළට ඇතුළු වීමට නොහැකි බව රෝහලේ සුළු සේවකයකු ඔවුන්ට දැනුම් දී තිබේ. ඒ සම්බන්ධයෙන් සුළු සේවකයා හා වාද කරමින් අදාළ පිරිස ඔහුට පහර දීමට උත්සාහ කළ අවස්ථාවේ රාත්‍රී රාජකාරියේ නිරතව සිටි හරින්ද්‍ර සෙනාල් විජේරත්න නමැති වෛද්‍යවරයා එම ස්ථානයට පැමිණ ඇත.

රෝහලේ කලබල නොකර පිටතට යන ලෙස දැනුම් දුන් අවස්ථාවේ කලහකාරී ලෙස හැසිරෙමින් ඔවුන් වෛද්‍යවරයාගේ මුහුණට හා පපුවට පහර දී තිබේ. බිම ඇද වැටුණු තමන්ව පාගමින් එම පිරිස පහර දුන් බව වෛද්‍යවරයා පැවසීය.

සැකකරුවන් පිරිස වෛද්‍යවරයා සතුව තිබූ රෝහලට අයත් වෙද නළාව ද පැහැරගෙන ගොස් තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි. පහර කෑමට ලක් වූ වෛද්‍යවරයා මහනුවර ජාතික රෝහලේ 10 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියි.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT