නව ප්‍රතිසංස්කරණ රැසක් සමඟ රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ශක්තිමත් වැඩපිළිවෙළ නිසා ගත වූ වසරක් වැනි කාලයක් තුළ මෙරට උද්ධමනය 62.1%කින් අඩු වී ඇති බව වැඩ බලන මුදල් ඇමැති, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පසුගියදා (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩ බලන මුදල් ඇමැතිවරයා මෙසේද පැවසීය:
“2022 වසරේ පළමු සහ දෙවන කාර්තු වන විට 66.7%ක්ව පැවැති උද්ධමනය 2023 වසරේ එම කාලසීමාව වන විට 4.6%ක් දක්වා අඩු කරගැනීමට සමත්ව තිබෙනවා. ඩොලර් බිලියන 1.8ක්ව පැවති මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3.8 දක්වා ඉහළ දැමීමට පසුගිය වසරක කාලය තුළ රජයට හැකියාව ලැබුණා. 2022 වසරේ අගෝස්තු මාසය වන විට රු. 361ක් අපි ඩොලරය සඳහා ගෙවුවා. එහෙත් 2023 අගෝස්තු මාසය වන විට රු. 321ක් වැනි මුදලකට ඩොලරයක් මිල දී ගත හැකියි. මෙය කෘත්‍රිමව කළ පාලනයක් නොවෙයි. ඩොලරයේ ඉල්ලුම – සැපයුම අනුව නිශ්චිතව රුපියලේ අගය පාවීමට ඉඩ හැර මෙම තත්ත්වයට ගෙන ඒමට ලැබීම ආර්ථික වශයෙන් ඉතා වැදගත් බව කිව යුතුයි.
“2022 වසරේ 14%ක්ව පැවැති තැන්පතු බැංකු පොලී අනුපාතය මේ වන විට 11% දක්වා අඩුව ඇති අතර, 15.5%ක්ව පැවැති ණය පොලී අනුපාතය මේ වසරේදී 12% දක්වා අඩු කිරීමට සමත්ව තිබෙනවා. පසුගිය වසරේ ප්‍රාථමික ගිණුම් හිඟය රු. බිලියන -247ක්. ඒත් මේ වසර වන විට රු. බිලියන +27 දක්වා එය වර්ධනය කරගැනීමට හැකිව තිබෙනවා. මෙය වසර 40කට පසු ප්‍රාථමික ගිණුම් ශේෂයේ අතිරික්තයක් වාර්තා කිරීමක් බව කිව යුතුයි.
2022 වසරේදී 496,430ක්ව පැවති සංචාරක පැමිණීම මේ වසරේ පළමු කාර්තු දෙක වන විට 904,318 දක්වා වර්ධනය වී තිබෙනවා. සංචාරක ඉපැයීම 2022 වසරේ අ.ඩො. මිලියන 832.6ක් වන අතර, එය මේ වසරේ පළමු කාර්තු දෙක වන විට අ.ඩො. මිලියන 1,304.5 දක්වා වර්ධනය වී තිබීම කැපී පෙනෙන කරුණක්.
එය පසුගිය වසරට සාපේක්ෂව ප්‍රතිශතයක් ලෙස ගත් විට 56.7%ක වර්ධනයක්. ඒ වගේම විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවට එවා තිබූ මුදල් ප්‍රමාණය අ.ඩො. මිලියන 2,214.8ක්. එය මේ වසරේදී අ.ඩො. මිලියන 3862.7ක් බවට පත්ව තිබෙනවා. එය පසුගිය වසරට සාපේක්ෂව 74.4%ක වර්ධනයක්.
“ජනාධිපති වික්‍රමසිංහ මහතා මේ රට භාර ගන්නා අවස්ථාවේ පැය 14ක විදුලි කප්පාදුවක් තිබුණා. එය ආර්ථිකයට ඍජුවම බලපාන කරුණක්. මේ වන විට ජනතාවට අඛණ්ඩ විදුලි සැපයුමක් දීමට වත්මන් ආණ්ඩුවට හැකිව තිබෙනවා. විදේශ විනිමය හිඟය නිසා 2023 අගෝස්තු 23 දා ආනයනික භාණ්ඩ වර්ග 1467ක් සපුරා තහනම් කළා. මේ වන විට එම තහනම ක්‍රියාත්මක වන්නේ භාණ්ඩ 279කට පමණයි. 2020 වසරේ වාහන ආනයනය නවතා දැමූ නමුත් මේ වන විට පොදු ප්‍රවාහනයට අවශ්‍ය බස් හා ට්‍රක් රථ ගෙන්වීමටද ඉඩ දී තිබෙනවා.
“2022 අප්‍රේල් වන විට අප ණය ගෙවා ගත නොහැකි රටක් බවට පත්ව තිබුණා. අප මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රථම වාරිකය ගෙන තිබෙනවා. මෙසේ සමස්තයක් ලෙස ගත් විට පසුගිය වසරට වඩා මෙරට ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට ආණ්ඩුවට හැකියාව ලැබී තිබෙනවා.”