Home » ආර්ථිකය ශක්තිමත් කිරීමේදී ඛනිජ සම්පත වෙතත් රජයේ අවධානය -රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු

ආර්ථිකය ශක්තිමත් කිරීමේදී ඛනිජ සම්පත වෙතත් රජයේ අවධානය -රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු

by sachintha
September 25, 2023 1:35 am 0 comment

මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේදී ඛනිජ සම්පත ඵලදායිව භාවිතයට ගැනීම පිළිබඳ අවධානය යොමු කර තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පසුගියදා (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අරුන්දික ප්‍රනාන්දු මහතා මෙසේද පැවසීය:

“අපේ රට ඛනිජ සම්පත්වලින් අනූන රටක්. අපේ භූමිය ආරක්ෂා කරගනිමින් ඒ ආශ්‍රිතව ආයොජන අවස්ථා පුළුල් කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ වගේම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඛනිජ සම්පත්වලට අගය එකතු කිරීමේ වැඩසටහනට සම්බන්ධ කරගෙන තිබෙනවා. ඛනිජ සම්පත් භාවිතයෙන් අගය එකතු කළ නිෂ්පාදන නිපදවීම තුළ ඒවාට ඉහළ වටිනාකමක් දිය හැකියි.

“ලෝකයේ ප්‍රධානම වෙරළ තීරයක් හිමි දූපතකට අප හිමිකම් කියනවා. අපේ රට විශාල ඛනිජ සම්පත්වලින්ද සමන්විතයි. ඒ වගේම භූගෝලීය වශයෙන් ආසියවේ වැදගත්කම ස්ථානයක අපේ රට පිහිටා තිබෙනවා. අපේ මේ අලංකාරවත් වෙරළ තීරය විටින් විට මුහුදු ඛාදනයට ලක් වෙනවා. එහිදී රජයේ මුදල් යොදවා මුහුදු ඛාදනය වළක්වාගැනීමට අවශ්‍ය පියවර ගනු ලබනවා. ඒ නිසා පළමු වතාවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විෂයක් බවට පත් කර තිබෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයටත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධ කර තිබෙනවා. ඇතැම් හෝටල්, ආයෝජකයන් සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව අතර ගැටලු ඇති වී තිබෙනවා. රජයක් ලෙස මේ සම්බන්ධයෙන් නම්‍යශීලිව කටයුතු කිරීමට අප තීරණය කර තිබෙනවා. සංචාරක කර්මාන්තයට උපයෝගි වන ගොඩනැඟිලි පහසුකම් ආයෝජකයන්ට සැලසීමට අප පියවර ගන්නවා. ලෝකයේ පවතින වෙරළ කලාප සංස්කෘතියත් ආරක්ෂා කරගෙන මෙරට වෙරළ තීරයන් සංවර්ධනය කිරීමට සහ අවස්ථා ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. මෙමඟින් රජයට ආදායමක් ලබා ගැනීමටත් හැකියාව තිබෙනවා. ලෝකයේ ලස්සනම වෙරළ තීරයක් හිමි රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. දීර්ඝ කාලීන ආයෝජන ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය, ඉඩම් අමාත්‍යාංශය ඇතුළු රේඛීය ආයතන සමඟ සම්බන්ධ වී මේ වෙරළ තීරයේ ආයෝජන අවස්ථා සැලසීමටත් තීරණය කර තිබෙනවා. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය නඟාසිටුවීම ඉලක්ක කරගෙන නව වැඩපිළිවෙළක් සකස් කිරීමට අවධානය යොමු වී තිබෙනවා.

“එසේම මෙරට පරිසරය සහ සාගරය ආරක්ෂා කරගැනීමට නව පනතක් ගෙන ඒමටත්, විශේෂයෙන්ම මෙරට කර්මාන්ත නඟා සිටුවීම වෙනුවෙන් බැංකුවක් ස්ථාපිත කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. ඇතැම් මූල්‍ය ආයතන ඉදිකිරීම් කර්මාන්තයට පහසුකම් සැලසීම සීමා කර තිබෙනවා. මේ ආකාරයෙන් කර්මාන්ත ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු විසඳාගැනීමටත් අප පියවර ගනිමින් සිටිනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Valibal Valibal
x