ආරුගම්බේ ප්‍රදේශය මූලික කරගෙන අම්පාර දිස්ත්‍රික් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරියෙන් සකස් කළ සැලැස්ම පසුගියදා ඉදිරිපත් කෙරිණි.
ආරුගම්බේ සංචාරක සංවර්ධන සැලැස්ම කඩිනම් කරමින් මෙරට සංචාරක කර්මාන්තයට පුළුල් දායකත්වයක් දිය හැකි ප්‍රදේශයක් ලෙස එම ප්‍රදේශය සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වු අවස්ථාවේදී මේ සැලැස්ම ඉදිරිපත් කෙරිණි.
ආරුගම්බේ ප්‍රදේශය මූලික කරගෙන අම්පාර දිස්ත්‍රික් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මුලික සාකච්ඡාවේදී හඳුනාගත් ගැටලු සහ ඒවා විසඳීමට මේ වන විට ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කෙරිණි.
ඒ අනුව එම ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය ආශ්‍රිතව මතුව ඇති ගැටලු සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධන කිරීමේදී මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳව මෙහිදී පුළුල් අවධානයක් යොමු කෙරුණු අතර, ඒවාට විසඳුම් සෙවීමේදී එක් එක් රේඛීය ආයතනවලට සිදු කළ හැකි මැදිහත්වීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.
නාගරික සංවර්ධන අධිකාරියෙන් සකස් කළ ආරුගම්බේ ප්‍රධාන සංචාරක සැලැස්ම ඉදිරිපත් කිරීම ද මෙහිදී සිදු වූ අතර, වසර 3ක් සඳහා වන එම සංචාරක සංවර්ධන සැලැස්ම ජනාධිපතිවරයාගේ අදහස් ගැනීමට ඉදිරිපත් කරන බව සාගල රත්නායක මහතා සඳහන් කළේය.
මේ කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය සඳහා මසකින් නැවත රැස්වීමට ද මෙහිදී තීරණ විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ, පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහත්වරුන් ඇතුළු අදාළ රේඛීය ආයතනවල ප්‍රධානීහු මේ සාකච්ඡාවට එක්ව සිටියහ.
ශිරෝමි අබයසිංහ