මෙරට සංචාරයකට පැමිණ සිටි ජර්මන් ජාතික තරුණියකගේ රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා අයිපෑඩයක් සහ කැමරාවක් සහිත බෑගයක් අහුලා ආපසු අයිතිකාරයට බාර දුන් පුවතක් ගාල්ලෙන් වාර්තා වේ. ජර්මන් ජාතික තරුණියක වන යොහානා සිය මිතුරිය සමඟ ගාල්ල නගරයේ ගමන් කරමින් සිටියදී ඉකුත් සිකුරාදා (15) ගාල්ල සරෙන්තුකඩේ හන්දිය ප්‍රදේශයේදී නොදැනුවත්වම සිය බෑගය බිම වැටී ඇත.
ඒ බව දැනගත් ජර්මන් තරුණිය වහාම ගාල්ල පොලිසියට පැමිණිලි කර ඇති අතර ත පසුව එහි සිටි පොලිස් නිලධාරීන් විසින් ඇය ගාල්ල කොටුව සංචාරක පොලීසිය වෙත යොමු කර තිබේ. ගාල්ල කොටුව සංචාරක පොලිසියට පැමිණි ජර්මන් තරුණිය සිද්ධිය විස්තර කිරීමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ පොලිස් සැරයන් චාමික (60734) සහ අරුණ රණසිංහ (68102) යන නිලධාරීන් දෙදෙනා ඇය සමඟ එම බෑගය සෙවිම් කටයුතු ආරම්භ කර තිබේ. ඒ අනුව සොයා බැලීමේදී වලහන්දූව කෝකා කෝලා වත්තේ පදිංචි ටී. ජී. ධම්මිකා මහත්මිය විසින් මේ අහුලා ගෙන ඇති අතර පසුව ඇය මෙම බෑගය පොලිසියට භාරදී ජර්මන් ජාතික තරුණියට එය භාර දි ඇත.
සිය කැමරාව සහ අයිපැඩය සහිත බෑගය හමුවූ ජර්මන් තරුණිය තමාට බෑගය සොයා දිමට උදව් කළ පොලිස් නිලධාරීන්ට සහ බෑග අහුලා බාර දුන් ධම්මිකා
මහත්මියට සිය ස්තුතිය පුද කළ අතර ශ්‍රී ලාංකිකයන් ඉතා හොඳ අවංක මිනිසුන් බවත් තමන්ට ඒ ගැන පැහැදීමක් ඇති වූ බවත් ප්‍රකාශ කර සිටියාය.
ගාල්ල දිසා සමුහ නන්දසිරි වැලිගමගේ