Home » සීතාවක රාජසිංහ රජුගේ ජීවන චරිතය ගැන යළි විග්‍රහයක් කළ යුතුයි

සීතාවක රාජසිංහ රජුගේ ජීවන චරිතය ගැන යළි විග්‍රහයක් කළ යුතුයි

සටන් පැරදුණු අය ඉතිහාසයේ වීරයන් කරලා

by sachintha
September 26, 2023 1:10 am 0 comment
චීන රජය විසින් පාසල් සිසු දරුවන් 12,000ක් වෙනුවෙන් දුන් පාසල් උපකරණ සහ නිල ඇඳුම් බෙදා දීමේ සීතාවක සිසු අරුණලු වැඩසටහන හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) සිදු කෙරිණි. එහිදී ජනාධිපතිවරයා පාසල් ශිෂ්‍යාවකට පාසල් උපකරණ ලබා දුන් අවස්ථාව. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කියූ ෂැන්හෙං මහත්වරුද ඡායාරූපයේ වෙති. ඡායාරූපය - සුලෝචන ගමගේ

සිසු දරුවන් 12,000කට පාසල් උපකරණ සහ නිල ඇඳුම් බෙදාදීමේ නිල උත්සවයේදී ජනපති රනිල් කියයි

එඩිතර සහ දේශප්‍රේමී රජවරයකු වන සීතාවක රාජසිංහ රජතුමාගේ ජීවන චරිතය පිළිබඳ යළි විග්‍රහයක් සිදු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පාසල් සිසු දරුවන් 12,000කට පාසල් උපකරණ සහ නිල ඇඳුම් බෙදාදීම වෙනුවෙන් හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ ඊයේ (25) පෙරවරුවේ පැවති “සීතාවක – සිසු අරුණලු” වැඩසටහනට එක්වෙමිනි.

මෙම සියලු පාසල් උපකරණ සහ නිල ඇඳුම් චීන රජය මඟින් ලබා දී තිබීම ද විශේෂත්වයකි.

පාසල් උපකරණ සහ නිල ඇඳුම් බෙදාදීම සංකේතවත් කරමින් සිසු දරු දැරියන් කිහිප දෙ‍ෙනකු වෙත පාසල් උපකරණ පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

රාජසිංහ රජතුමාගේ පාලන සමයෙන් ශත වර්ෂ දෙකකට පසුව චූලවංශයේ සඳහන් වූ කරුණක් හේතුවෙන් රාජසිංහ රජතුමා ඉතිහාසයෙන් අමතක කර තිබෙනවා. සටන් දිනූ අය පසෙකලා සටන් පැරදුණ අය වීරයන් කළ ඉතිහාසය පිළිබඳ යළි සිතා බැලිය යුතුයි.

සීතාවක රාජධානියේ ඓතිහාසිකත්වය ඉස්මතු කරමින් එහි පුරාවිද්‍යාත්මක වටිනාකම් ගවේෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මා උපදෙස් දී තිබෙනවා. සීතාවක ඓතිහාසිකත්වය පිළිබිඹු කෙරෙන කෞතුකාගරයක් ඉදිකිරීමට මා අදහස් කරනවා.

සීතාවක රාජධානිය සහ සීතාවක රාජසිංහ රජතුමා පිළිබඳ කරුණු ලියා එවන ලෙස මෙහිදී ප්‍රදේශයේ පාසල් දරු දැරියන්ට ආරාධනා කළ ජනාධිපතිවරයා එහි හොඳම නිර්මාණයට තිළිණයක් ලබාදීමට කටයුතු කරනවා.

පාසල් සිසුන් දොළොස් දහසකට පමණ පාසල් උපකරණ සහ නිල ඇඳුම් කට්ටල ලබාදීම අද සිදු කරනවා. මෙම ආධාර අගමැතිතුමා චීනයේ සිදු කළ සංචාරයේ ප්‍රතිඵලයක් බව කිව යුතුයි. හංවැල්ල, අවිස්සාවේල්ල කියන්නේ බස්නාහිර පළාතේ දියුණු අධ්‍යාපන ක්‍රමයක් පවතින ප්‍රදේශයක්. ඒ සඳහා අගමැතිවරයා විශාල කැපවීමක් සිදු කරනවා.

අද මෙතන රාජසිංහ රජතුමා ගැන කවි පෙළක් කිය වුණා. රාජසිංහ රජතුමා එදා නොසිටියා නම් අද ශ්‍රී ලංකාව මොසැම්බික් රාජ්‍යයක් හෝ ඇංගෝලාවක් බවට පත්වෙලා.
රාජසිංහ රජතුමා තමයි දකුණු ආසියාවේම පෘතුගීසින් පරාජයට පත් කළ එකම රජතුමා. එසේ නම් සීතාවක රාජධානිය නිසා අපේ රටේ ස්වාධීනත්වය ආරක්ෂා වුණා. ඉදිරි පරම්පරාවටත් එම දැනුම ලබා දීමට සීතාවක ප්‍රදේශයේ කෞතුකාගාරයක් ඉදි කිරීමට මම අදහස් කර තිබෙනවා.

සීතාවක රාජධානිය පිළිබඳ ජනප්‍රවාදයේ බොහෝ කතා සඳහන් වෙනවා. විශේෂයෙන්ම මුල්ලේරියාව සටන පැවති ස්ථානයේ සහ දන්තුරේ සටන පැවති ස්ථානයේ ස්මාරක ඉදිකිරීමට ද මම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත උපදෙස් දී තිබෙනවා. මේ පිළිබඳව පියවර ගන්නා ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ද අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා.

අප මෙම ඉතිහාසය අමතක නොකළ යුතුයි. ඒ වගේම මෙරට ශ්‍රේෂ්ඨ රජවරුන් රට වෙනුවෙන් ඉටුකළ සේවය අමතක නොකළ යුතුයි. රාජසිංහ රජතුමාගෙන් ශත වර්ෂ දෙකකට පසුව චූලවංශයේ සඳහන් වූ කරුණක් නිසා රාජසිංහ රජතුමාව නොසලකා හැර තිබෙනවා. අප මෙම ඉතිහාසය ගැන සිතන්නේ නැහැ. සටන් පැරදුන අය වීරයෝ කරනවා. සටන් දිනූ අය පසෙකට දමනවා. ඒ නිසා සීතාවක රාජසිංහ රජතුමාගේ ජීවන චරිතය පිළිබඳ යළි විග්‍රහයක් සිදු කළ යුතුයි කියා මම සිතනවා.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා- අධ්‍යාපන යනු රටේ හොඳම ආයෝජනයයි. ඒ සඳහා ආණ්ඩුව සෑමවිටම කැපවී කටයුතු කරනවා. අද මේ සිදු කරන්නෙ චීන රජය ලබා දී තිබෙන පාසල් උපකරණ කට්ටල බෙදාදීම යි. ඒ සඳහා ජනාධිපතිවරයා පැමිණීම අගය කොට සලකනවා.

කැලණි මිටියාවතේ පළමු මධ්‍ය විද්‍යාලය ලෙස හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය බිහි වුණාට පසුව විශාල සිසු පිරිසකට අධ්‍යාපන වරම් හිමි වුණා. අද මෙම පාසලෙන් බිහි වී රටේ දියුණුවට දායකත්වය ලබා දෙන විශාල පිරිසක් සිටිනවා. සෑම ආණ්ඩුවක්ම හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය දියුණු කිරීම සඳහා විශාල දායකත්වයක් ලබා දුන් බව සිහිපත් කළ යුතුයි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කියූ ෂැන්හෙං (Qi Zhenhong) මහතා-

ශ්‍රී ලාංකික ජනතාව මේ වන විට තාවකාලික දුෂ්කරතාවකට මුහුණ දී සිටිනවා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ නායකත්වය යටතේ එම සියලු අභියෝග ජය ගෙන රටේ ජනතාවට හොඳ අනාගතයක් ගොඩනඟා දීමට හැකිවනු ඇතැයි විශ්වාස කරනවා.

ශ්‍රී ලංකාවට තිරසර සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමට මෙන්ම පවතින ආර්ථික ගැටලුකාරී තත්ත්වයෙන් අත්මිදීමට චීනයේ සහාය සෑමවිටම ලබා දෙනවා.

අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ, මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් කුමාර, යදාමිණී ගුණවර්ධන, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලක, රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ජගත් සූරසේන යන මහත්වරු සහ ගුරුවරුන්, දෙමවුපියන්, සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශිරෝමි අබයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Valibal Valibal
x