Sunday, May 11, 2025
Home » දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත ශරීරය සහෝදරයන්ට භාර දෙයි

දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත ශරීරය සහෝදරයන්ට භාර දෙයි

by sachintha
September 26, 2023 1:00 am 0 comment

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෘත ශරීරය සම්බන්ධයෙන් පැවැත්වූ සියලු විමර්ශන අවසන් බවට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලය දැනුම් දී ඇති බැවින් ෂාෆ්ටර් මහතාගේ මෘත දේහය ඔහුගේ සහෝදරයන් වෙත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ ( 25) විද්වත් මණ්ඩලය වෙත නියෝග කළාය.

දිනේෂ් ෂාෆ්ටර් මහතා සියදිවි හානි කර ගත්තාද ? නැත්තම් ඝාතනය කළාද ? යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ගාල්ල කරාපිටිය රෝහලේ දී දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය සම්බන්ධ කටයුතු අවසන් කර ඇති බවත් මරණය සම්බන්ධ අවසන් නිගමනයක් නුදුරු දිනයක ම ලබාදෙනු ඇති බවත් මහෙස්ත්‍රාත්වරිය අධිකරණය හමුවේ පැවසුවාය.

ෂාෆ්ටර් මහතාගේ පියා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පැවසුවේ රජයේ රස පරීක්ෂක කාර්යාලය විසින් මරණකරුගේ ඇඳුම්වල තැවරී තිබූ වමනය සම්බන්ධ වාර්තාවේ කිසිදු ආකාරයකට සයනයිට් තිබූ බවට සඳහනක් නොමැති බවය.

එහෙත් අධිකරණ වෛද්‍ය රූල්හක් මහතා විසින් මෙම මරණය සයිනයිට් විෂ වර්ගය ශරීරගතවීමෙන් සිදුවූවක් බවට සඳහන් කර තිබුණුු බව සඳහන් කළේය.
මරණකරුගේ ඇඳුම් පැලඳුම් පරික්ෂා කිරීමේදී මෙවැනි සයිනයිට් කිසිදු වර්ගයක් හමු නොවුණු බවත්, මෙම කරුණ ද අදාළ කමිටුවේ අවධානය යොමු කරවන ලෙසට නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

තවද ෂාෆ්ටර් මහතාගේ ශරීරය පුරා තුවාල තිබූ අතර ඒවා සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරී රූල්හක් මහතා විසින් සැලකිල්ලක් නොදක්වා ඇති බවට හෙතෙම අධිකරණය හමුවේ පැවසීය.
මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාගේ වෛද්‍ය වාර්තාවේ සඳහන් කාරණා ද ෂාෆ්ටර් මහතාගේ මානසික තත්ත්වය නිරූපණය නොවන බවට ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ පැවසුවේ ය.

මෙබඳු කරුණු සම්බන්ධයෙන් ද විද්වත් මණ්ඩලයට අවධානය යොමුකරන ලෙසට නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
නීතිඥවරයා විසින් අධිකරණය හමුවේ සැල කර සිටි සියලු කරුණු සම්බන්ධයෙන් විද්වත් කමිටුව මීට පෙර දැනුවත් කර ඇති බැවින් නියෝග අනවශ්‍ය බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය ඉල්ලීම පමණක් සටහන් කර තබන බව පැවසුවා ය. අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ෂාෆ්ටර් මහතාගේ මෘත දේහය මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා හා විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන්පුර යන අයගේ මූලිකත්වයෙන් ෂාෆ්ටර් මහතාගේ සහෝදරයා හා මස්සිනා වෙත මුදාහැරීමට නියෝග කළාය.
සිරන්ජනී කුමාරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT