ගොළු හදවත කරුණාසේන ජයලත්ගේ පළමු නවකතාවයි. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ හයවන චිත්‍රපටයයි. 1962 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ හොඳම නවකතාව වූයේ ගොළු හදවතය. පාසල් ප්‍රේමය කරළියට ගෙන ආ හෙයින් මේ පොත වයස දාහතරේ, දහසයේ පොඩි එව්වෝ කියවනවාට, ගෙදර දොර විරෝධයක් විය. සමහර එකාලා, ඉස්කෝලේ අච්චු පොත උඩින් තියාගෙන, මැදට ගොළු හදවත දමාගෙන කියවූයේය. ගොළු හදවතේ එන පාසල් ප්‍රේමය කොහොම වුවත් පොත කියවීම ද අවුලක් වන කාලයක් රටේ තිබුණි.
පාසල් ප්‍රේමය සමහරු භාර දෙන්නේ, නව යොවුන් වියේ, ඇතිවෙන හෝමෝන ක්‍රියාවලියටය. හෝමෝන සක්‍රිය වන්නේ ඒ වයසේ නම් විරුද්ධ පාර්ශ්ව ආකර්ෂණය නැවැත්විය නොහැකි හෙයින් පාසල් ප්‍රේමය ද මනුෂ්‍යකමේ ලක්ෂණයකි. එහෙම ලිබරල් තර්ක ගොඩනඟන්නේ නමුදු, පාසල් ප්‍රේමයක දරුවන් පැටලෙනවාට මවුපියෝ විරුද්ධ වෙති. දිගක් පළලක් නොදැක දරුවා නන්නා වෙන එහෙම දේවල් අඩමානයට ගැනීමට, කරදඬු උස් මහත් කර හැදූ මවුපියෝ කැමැති නැත්තාහ. ගොළු හදවත සම්මාන දිනුවේ වුවද ගෙදරදී කියවන්නට නොදුන්නේ ‘ඒ රිස්ක් එක ගැනීමට’ අම්මා තාත්තා අකැමැති වූ හෙයිනි.
හෝමාගම හන්දිය මානයේ ඇති පුද්ගලික අංශයට අයත් උද්‍යානයක් වෙත පොලිසිය යන්නේ අධිකරණ අවසරයක් ද අරගෙනය. ටියුෂන් යනවා කියා සති අන්තයේ ඔවැනි තැන්වලට යන පිරිසක් දැන් සිටින හෙයින් ඒ වෙනුවෙන් වෙනම මාකට් එකක් ද හැදී තිබේ. ගෙදරින් ලැබෙන ටියුෂන් ෆී එක අරන්, කාමරයකට රිංගා, ප්‍රේමයට එහා ගිය දේවල් සිදු වී, අවසන අපරාධ ක්‍රියා ද සිදු වන හෙයින්, එවැනි ස්ථාන සොයා පියවර ගන්නා ලෙස ඉල්ලන්නේ, අනාගතය ගැන හිතන වැඩිහිටි ප්‍රජාවය.
දැන් මේ රටේ ඕනෑම දෙයක්, ඕනෑම එකකුට, ඕනෑ නම් කළ හැකිය. ඒ තරමට රට ලිබරල්ය. සමාජය අබලන්ය. ‘සමාජයට බම්බු ගහගන්න කියලා ජීවිතය වඳින මිනිස්සු’ යැයි ඕනෑම තක්කඩිකමක් ප්‍රසිද්ධියේ කරන විට ලයිසමක් ලැබෙන්නේ ඒ අනුවය. මොනවා කළත් අවුලක් නැත. එය සමාජයක් ලෙස ගෙන ප්‍රශ්න කරන එක නම් අවුලකි. සංස්කෘතිය කියන එක මතක් කළ පමණින් මැරුම් කෑම හැර අනික් සියල්ල කෑ හැකිය. ඒ තරමට දැන් වැඩේ ලිබරල්ය. වෙන එකක් තබා ඔය කියන බටහිර රටකවත් නැති දේවල් දැන් මෙහෙ කළ හැකිය.
පාසල් යන වයසේ එකා ළමයා මිස, තනි තීරණ ගත හැකි ජාතියේ අයෙක් නොවේ. ‘අන්ඩර් සුපර්විෂන්’ කියන්නේ එහෙයිනි. එහෙම මට්ටමක දරුවා රඳවන්නේ, තරම නොදැන වැඩ විය හැකි නිසාය. ආදරය වැනි දේ දරුවාට දනෙනවාට වඩා, වෙනස යන්න මෙතැනදී මූලික වේ. ආකර්ෂණය ආදිය සලකා දරුවා ඒ මත්තේ පෙළගැහුණා කියන්නේ හතේ පන්තියෙන් එහාට පාසල් දරුවන්ට විනයක් අවශ්‍ය නැහැ යන්නය.
ටෙලියේ සිට සියල්ල යන්නේ රුයිතේට හෙයින් සමාජයක් ඉදිරියට ගෙන යන පරපුර අද නියැළෙන්නේ ‘මඟුලට වසර දහයකට පමණ පෙර ඇඳුම් මසන්නටය’. පාසල් ප්‍රේමය කුමක් වුවත්, සිප් එක ඇරගෙන ඒවා කරන පාසල් යන වයසේ එකා පිළිබඳව ගෙදර දන්නේ නැතිනම්, ගෙදරට දන්වා යැවීම සමාජයේ වගකීමකි.
හෝමාගම උද්‍යානයට පොලිසිය ගිය විට ඒකේ අයිතිකාර හෝ භාරකාර අම්බරුවා කුලප්පු විය. පොලිසියට තප්පුලන්නට පටන් ගත්තේය. ‘ඔහොම එන්න අවසරයක් තිබෙනවාදැයි’ මුලින්ම ඇසීය. සෝදිසි වරෙන්තුව පෙන්නූ විට, වෙනත් කතා ද පළ කරන්නට විය.
මේ රටේ දැන් රාජ්‍ය තන්ත්‍රයට හෝ නීතිය ක්‍රියාත්මක කරන පහළ මට්ටමේ කිසිවෙක්ට වැඩක් කරන්නට බැරිය. බිල නොගෙවා වතුර කපන්නට ගිය කල්හි, දෙකේ දෙකේ පොල්ලක් ගෙන ජල සම්පාදන මණ්ඩලයෙන් එන කෙනාට සංග්‍රහ කරන්නේය. බෙල්ලට කැත්ත තබා, කපපු වතුර දෙන ලෙස බල කරන්නේය. පොලිසිය ද ඔය ජාතියේ කටු, අනන්ත කන්නේය.
දරුවා ගැන සමාජයට ද වගකීමක් ඇත්තේය. ඉපදෙන්නට පෙර අම්මාට දෙන ත්‍රිපෝෂ ආදිය, රෝහල් පහසුකම්, එන්නත්, අධ්‍යාපනය සඳහා වැය බර දරන්නේ සමාජය හෙයින් නන්නත්තාර නොවූ දරුවෙක් සමාජයේ සිටිය යුත්තේය. ආදරය කරනවා කියා ගෙදරට හොරෙන් ගුබ්බෑයමකට සිය දියණිය රිංගනවාට කැමැති මවුපියෙක් සිටිනවා නම්, අර පොලිස් නිලධාරියා කළ ලෙස ගෙදර කැමැත්ත පරිදි සුදුසු තැනක ඒ වැඩ කටයුතු කරගෙන යන ලෙස කිව හැකිය.
මේවා කාම අපරාධ සඳහා මුලය. එහෙම ස්ථාන ගැන පොලිසියට පැමිණිලි ගලා එන්නේය. ඒවා විභාග නොකරන විට ‘පොලිසියේ එවුන් ජරාව කාලා’ යැයි වැළලෙන්නේය. එහෙම විභාගය සිදු කරන විට හතර වටේ උන් පොලිසිය සමඟ ගේම ඉල්ලන විට, අර එකෙක්වත් කතා නොකරන්නේය.
සති අන්තය පුරා ප්‍රසිද්ධ නගර ආශ්‍රිතව ලැගුම් හල් පුරවන්නේ මේ දහසයෙන් දහ අටෙන් පහළ කපල්ය. ඒවා ද ‘ෂෝක්’ , මානව අයිතිවාසිකම් යන පද ගසා, නව යොවුන් වියට එහෙම නීති දැමිය හැකිදැයි අසන එවුන් වෙත ‘හිස කුඩිච්චි දැමීම’ සඳහා තැන් සොයා දෙනවා හැරෙන්නට, ඔය වගේ ස්ථාන වැටලීම, නතර නොකළ යුතුය. තිලීපන් නම් ත්‍රස්තයා සැමරීමට ද ගැන්සි ඉන්නා රටේ ඕවාට ‘බඩු හිඟ’ වන්නේ නැත. එහෙම කියා අප සැලිය යුතු නැත. සමාජයක් ලෙස සිතා ගේම ඉල්ලිය යුතුය.