Tuesday, December 5, 2023
Home » අහිතකර මිනිස් ක්‍රියාකාරකම් වාතයේ ගුණාත්මක බව අඩු වෙන්න හේතුවයි

අහිතකර මිනිස් ක්‍රියාකාරකම් වාතයේ ගුණාත්මක බව අඩු වෙන්න හේතුවයි

-පරිසර අමාත්‍යාංශයේ වායු සම්පත් කළමනාකරණ සහ ජාතික ඕසෝන් ඒකකයේ සහකාර අධ්‍යක්ෂිකා, තිරිස් ඉනෝකා

by sachintha
September 26, 2023 1:00 am 0 comment

පොලිතීන්, ප්ලාස්ටික් ගිනි තැබීම පරිසරයට විශාල හානියක්

වායුගෝලය ගැන වගකීමෙන් කටයුතු කළ යුතු වෙනවා

පරිසර දූෂණයට අදාළ පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියට ඉදිරිපත් කරන්න

මිනිස් ජීවිතයට පිරිසුදු වාතය නැතිවම බැරිය. ලෝකයේ විශාලතම පාරිසරික අවදානම වශයෙන් සැලකෙන්නේ වායු දූෂණයයි. ලෝකයේ අතිබහුතරයකට පිරිසුදු වාතය ආශ්වාස කිරීමට නොලැබෙන වග පර්යේෂණාත්මකව හෙළි කර ගත් ඇත්තකි. මෑතකාලීනව ද නැවත වරක් මෙරට වාතයේ කාබන්, දූවිලි අංශු ප්‍රතිශතය 40%ක් තරම් අගයක් ගෙන තිබූ බවට පරිසර අමාත්‍යාංශ ලේකම්, හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය, අනිල් ජාසිංහ මහතා ඉකුත් කාලයේදී ප්‍රකාශ කර තිබිණ. තවදුරටත් එය මෙරට ජන ජීවිතයට කෙසේ බලපායිද? යන්න ගැන පරිසර අමාත්‍යාංශයේ වායු සම්පත් කළමනාකරණ සහ ජාතික ඕසෝන් ඒකකයේ සහකාර අධ්‍යක්ෂිකා, තිරිස් ඉනෝකා මහත්මිය සමඟ කළ කතා බහ මෙසේ දිගහරිමු.

අපි ලෝකය දෙසට හැරෙමු?

දෙයාකාරයකින් වායු දූෂණය වෙන්න පුළුවන්. ඒ, ස්වාභාවිකව සහ මිනිස් ක්‍රියාකාරකම් ඇසුරෙන්. ඒත්, ඉන් දෙවැන්නෙන්, එසේත් නැතිනම් මිනිස් ක්‍රියාකාරකම් නිසා තමයි, බහුලව වායු දූෂණය වෙන්නේ. එක් වර්ෂයකදී මිලියන 7ක ලෝක ජනතාවක් පිරිසුදු හුස්මක් නැතිකමින් මරණයට පත් වීමෙන් වායු දූෂණයේ බැරෑරුම්කම පෙන්නුම් කරනවා. එහෙත්, ස්වාභාවික හේතු කාරණා වලටත් වඩා මිනිස් ක්‍රියාකාරකම් හමුවේ ඒ මානව අයිතියටත් බාධා එල්ල වෙලා. මෙරටටත් එය එසේමයි. වාතය ගුණාත්මක බවින් අඩු වීමකුයි ඉන් වෙන්නේ. ලෝකයේ ඇතැම් රටවල් කාර්මීකරණයත් සමඟ පිරිසුදු හුස්මක් අහිමි තැනට පත් වෙලා. කර්මාන්තශාලා වලින් කලක් තිස්සේ අධික වශයෙන් පරිසරයට මුදාහැරෙන විෂ දුම් ආදිය නිසයි, ඒ තත්ත්වය ඇති වී තියෙන්නේ. ඒත්, අපේ රටේ ඒ තත්ත්වය තවම එතරම් නරක තැනකට පත්වී නැහැ. ඒත්, අපට සතුටු විය නොහැකියි. නිරතුරුව වාහනවලින් පරිසරයට මුදා හැරෙන විෂ වායු නිසා වාතය දූෂණය වීම් වැඩිපුර මෙරටින් හඳුනාගත හැකියි. සංඛ්‍යා දත්ත අනුවත් එය පෙන්නුම් කරනවා. ඒ අනුව, මෙරට වායු දූෂණයෙන් 60%ක් පමණ රථ වාහනවලින් පිට කෙරෙන විෂ දුම් නිසා වන බවක් හෙළි වී තිබෙනවා. මෙරට කර්මාන්තශාලාවලින් පිට කෙරෙන විෂ දුම් නිසා වන වායු දූෂණය 20%ක් තරම් ප්‍රතිශතයක් ගන්නේ. එසේම, ගෘහස්ථ මට්ටමෙනුත් 20%ක් තරම් ප්‍රමාණයක් වායු දූෂණය වන බවත් හඳුනාගෙන තියෙනවා.

එහෙමනම්, රථ වාහන පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුයි නේද?

ඔව්. මෙරට වැඩිමනක් වාහන ඩීසල්, පෙට්‍රල් තමයි ඉන්ධන විදියට භාවිත කරන්නේ. ඒවා අර්ධ වශයෙන් දහනය වීමෙන් වායු දූෂණය වැඩි වන වග පැහැදිලියි. එවිට පරිසරයට අහිතකර විෂ වායු වැඩිපුර මුදාහැරෙනවා. ඒත් ඊට රජයේ මැදිහත් වීමෙන් පියවර ගෙන තිබෙනවා. රථ වාහන සඳහා දුම් පරීක්ෂණ සහතික නිකුත් කිරීම ඉන් එකක්. එයින් පරිසරයට අහිතකර විෂ දුම් වාහනවලින් පිට කිරීමට අදාළ නිර්ණායක හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව වාහනයේ තත්ත්වය යහපත් අයුරින් පවත්වා ගැනීමට වාහන හිමියන් පෙලඹෙනවා. ඉන් මිනිසාටත්, පොදුවේ මානව, සත්ත්ව පද්ධතියටත් යහපත සැලසෙනවා.

තවදුරටත් ඒ ක්‍රියාවලිය පිළිබඳ පසුවිපරම් කිරීමක් මධ්‍යම පරිසර අධිකාරිය මඟින් කෙරෙනවා. එයින් එහි විධිමත් බවත්, අකටයුතුකම් පාලනයත් අපේක්ෂා කෙරෙනවා. විශේෂයෙන්ම මහමඟදී අහඹු වශයෙන් තෝරා ගන්නා වාහන දුම් පරීක්ෂණයට ලක් කිරීම හඳුන්වා දිය හැකියි. ඊට අනුමත, ප්‍රමිති, පිරිවිතර පවතිනවා. අහිතකර සල්ෆර් ඩයොක්සයිඩ් වායු මට්ටම් ආදියට අදාළ නිර්ණායක ආදියත් ඉන් හඳුන්වා දී තිබෙනවා. හයිබ්‍රිඩ්, විදත් වාහන වැඩිපුර භාවිතයෙන් මේ ගැටලු බොහෝ දුරට අවම කෙරෙනවා. හුඟක් රටවල් පොසිල ඉන්ධනවලට වඩා පාරිසරික ගැටලු අවම කෙරෙන ක්‍රම මඟින් වාහන ධාවනය කරවීමට කැමැත්තක් පෙන්වනවා. මෙරටත් යම්තාක් දුරකට ඒ ප්‍රවණතාව දක්නට ලැබෙනවා. තවදුරටත් ඒ තත්ත්වය වැඩි දියුණු කර ගැනීමට දිරි දීමට රජය නිතර පෙලඹෙනවා.

නීතිමය තත්ත්වය ගැනත් කතා කරමුද?

ජාතික පාරිසරික පනතට අනුව ප්‍රධාන වශයෙන් ඊට අදාළ කරුණු විස්තර කෙරෙනවා. මෙරට පරිසරයට ඉහත විවිධාකාරයෙන් මුදා හැරෙන අපද්‍රව්‍ය, විෂ වායු ආදියට අදාළ පිරිවිතර ඉක්මවා යෑමට, එසේත් නැතිනම් එම සීමා උල්ලංඝනය කිරීමට කිසිවකුට නොහැකියි. එවිට ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරෙනවා. එහෙත් නූතනයට මෙන්ම අනාගත පරපුරටත් සීමිත ස්වාභාවික සම්පත් භාවිත කිරීමට ඉතිරි කිරීම කාගේත් වගකීමක්. දඬුවම් දීමට වඩා දැනුවත් වීමෙන් පරිසරය ආරක්ෂා කිරීමට පෙලඹීමයි රජය පුරවැසියන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. ජාතික පාරිසරික බලපත්‍ර ක්‍රමය ඒ අනුව හඳුන්වා දී තිබෙනවා. වාර්ෂිකව අදාළ බලපත්‍ර අලුත් කරවා ගැනීමේදී පරිසර හිතකාමීව කර්මාන්ත, සේවා පවත්වා ගෙන යන්නේදැයි පරීක්ෂා කෙරෙනවා. නොඑසේ නම් ඊට අදාළව පරිසර බලපත්‍රය අවලංගු කෙරෙනවා. ඒත් හැකි උපරිම වශයෙන් මධ්‍යම පරිසර අධිකාරිය මඟින් යම් ආයතනයකින් පරිසර නීති කඩ කිරීමට ආසන්න අවස්ථාවක් නිරීක්ෂණය කළහොත් එය නිවැරදි කර ගැනීමට උපදෙස් දෙනවා.

එසේම, පාරිසරික වැරදිවලින් වැළකී පරිසර හිතකාමීව කටයුතු කරන ව්‍යාපාරිකයන්ට, කර්මාන්තකරුවන්ට සහන සැලසීමටත් මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරනවා. තවදුරටත් ඊට ඇහුම්කන් නොදුනහොත් නීතිය ක්‍රියාත්මක කළ හැකියි. ඒත් බොහෝ ආයතන ඉතා වගකීමෙන් යුතුව පරිසරය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් කිව යුතුයි. ඒ අතරම පැළ සිටුවීම ආදී පරිසරයට හිතකර විවිධ ක්‍රියාකාරකම්වල නිරත වීමත් ඇගයීමට ලක් කළ යුතුයි. මහජනතාවටත් පරිසර දූෂණයට අදාළ පැමිණිලි මධ්‍යම පරිසර අධිකාරියට ඉදිරිපත් කළ හැකියි. එවිට ඒ පිළිබඳ අනිවාර්යයෙන්ම සොයා බලනවා. එසේම, පැමිණිලිකාර පාර්ශ්වයේ රහස්‍යභාවය රකිමින් අදාළ වරද නිවැරදි කිරීමට කටයුතු කෙරෙනවා.

රටක් තනිව පරෙස්සම් වුණාම ඇතිද?

නූතනය වන විට රට රටවල් කාර්මීකරණය වීමේ ලක්ෂණයක් විදියට මහා පරිමාණ කර්මාන්ත කලාප පවා පිහිටුවා තිබෙනවා. ඒ ඇතැම් නගර ආශ්‍රිත වායුගෝලයේ විවිධ අපද්‍රව්‍ය අංශු පවතිනවා. එයින් එරටට පමණක් නෙවෙයි, ඇතැම් විට අවට රටවලටත් බලපෑම් ඇති විය හැකියි. එවැනි අයහපත් අත්දැකීමක් කලෙක පටන් මෙරටත් අත් විඳිනවා. එනම්, ඉන්දියාවේ දිල්ලි ආදී කර්මාන්ත බහුල නගරවල අහසේ පාවෙන දූලි, අංශු සුළඟේ බලපෑමත් සමඟ මෙරටටත් ඇදී ඒමයි. ඇතැම් විටදී ඒ බලපෑම වඩා තදින් දැණුනා. ඒ නිසා ඇතැම් ප්‍රදේශවල පාසල් නිවාඩු දීම් ඇතුළු ක්ෂණික සෞඛ්‍යාරක්ෂිත පියවර කරා යොමු වීමටත් සිදු වුණා.

ඊළඟට ගොඩනැඟිලි තුළට හැරෙමුද?

රාජ්‍ය, අර්ධ රාජ්‍ය දෙඅංශයට හරිත ගොඩනැඟිල්ලක් සඳහා වන මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. එසේම, නාගරික සංවර්ධන අධිකාරිය මඟින් එය අධීක්ෂණය කිරීමත් හඳුනාගත හැකියි. විශේෂයෙන්ම ගෘහස්ථ වශයෙන් වායුගෝලයට විෂ වායු පිට කෙරෙන විධි හඳුනාගෙන ඊට විකල්ප හඳුන්වා දීමත් පෙන්වා දෙන්න පුළුවන්. සමහරු ළිප දැල්වීමේදීත් පොලිතීන් දමනවා. ඒත් එවැනි වැරදි පුරුදු නිසා තමන්ටත් අනුන්ටත් අවැඩක් වෙනවා. ඉකුත් කාලයේදී අපට ඇතැම් හෝටල් තුළදී මෙන්ම දොරගුළු දැමූ නිවෙස්වලත් බාබකියු උදුන් දැල්වීම, විෂ වායු නිකුත් කෙරෙන විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතය ආදිය නිසා ජීවිත හානි වූ අවස්ථා පවා හඳුනාගත හැකියි. එසේම, මදුරු දඟර දැල්වීමේ සිටම සැර, විෂ වායූන් නිකුත් කෙරෙන එවැනි දේ වෙනුවට පරිසර හිතකාමී වෙනත් දෑ සඳහා යොමුවීම කාටත් ඉතා වැදගත් බවටත් අවධාරණය කළ යුතුයි.

අපි දැන් යොමු වෙන්නේ වායු දත්ත මැන ගැනීම දෙසටයි?

ඒක ඉතා වැදගත්. දත්ත අනුවයි වායුගෝලීය දත්ත පද්ධතියක් සකස් කෙරෙන්නේ. 0- 50, 50 -100, 100 – 150 ආදී වශයෙන්, විවිධ වර්ණවලින් සාමාන්‍ය, මැදි හා අවදානම්කාරී මට්ටම් වෙන් කෙරෙනවා. ඒ අනුව වත්මන් වායුගෝලීය තත්ත්වය හඳුනාගත හැකියි. පිරිසුදු, ගුණාත්මක මිහිතලයක් පවත්වා ගැනීම කොයි රටේත් බලාපොරොත්තුවක්. එහිදී සංවේදී දත්ත අධි තාක්ෂණික ස්වයංක්‍රිය යන්ත්‍ර මඟින් ලබා ගැනෙනවා. එයින් වායුගෝලයේ අහිතකර වායු, අංශු පිළිබඳ හෙළි කෙරෙනවා. දැනට මහනුවර, කොළඹ ප්‍රදේශ ආශ්‍රිතව ඒවා ස්ථාපිත කර තියෙනවා. එය නඩත්තු වියදම් අධික කටයුත්තක්. දුම් සහතික නිකුතුවේදී රජයට ලැබෙන ආදායම සෙසු ප්‍රදේශ ආශ්‍රිතව සංවේදක යන්ත්‍ර ඇසුරෙන් ඊට අදාළ දත්ත මැන ගැනෙනවා. ඒ අනුව විශ්ලේෂණ කෙරෙනවා. මෙය ඉතා වැදගත්. ගර්භිණී කාන්තාවන්, දරුවන්, වැඩිහිටියන් පෙණහලු ආශ්‍රිත රෝගවලින් පෙළෙන්නන් ආදී ශ්වසන සංවේදී කණ්ඩායම් අහිතකර වායුගෝලීය තත්ත්වවලදී පරෙස්සම් විය යුතු ආකාරය වෛද්‍යවරු පැහැදිලි කරනවා.

විශේෂයෙන් ඊට අදාළ දත්ත ඇසුරෙන් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. එවිට සෙසු රාජ්‍ය ආයතනත් සම්බන්ධ කර ගනිමින් හදිසි තත්ත්වයකදී මෙරටට ක්‍රියාත්මක වීම පහසුයි. ඉකුත් 7දා මෙරටත් පිරිසුදු වාතලයක් වෙනුවෙන් යෙදුණු අන්තර්ජාතික දිනය සැමරුවා. පාසල් සිසුන් ඇතුළු ප්‍රජාව දැනුවත් කිරීමත්, බිම් මට්ටමෙන් ස්ථානීය දුම් පරීක්ෂණ කිරීමත් ඊට සමගාමීව කළා. මහනුවර මහා මාර්ග පද්ධතිය සැලකිල්ලට ගත් විටදීත් එහි පාසල් පිහිටීම අනුවත් විකල්ප මාර්ග හඳුන්වා දීම ආදී පියවර ගැනීමත් සමඟ පාසල් වෑන් රථ සඳහා පාක් ඇන්ඩ් රයිඩ් ආදී විසඳුම් යෝජනා කර තිබෙනවා.

අන්තර්ජාතික ඕසෝන් දිනයට මෙවර සිදු කළේ මොනවාද?

ඔව්. පසුගිය 16දාට යෙදී තිබුණා. ඒ වෙනුවෙන් 15දා BMICHහිදී ජාතික උත්සවය පරිසර ඇමැති, ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වූවා. ඕසෝන් වියන සුරැකීමේ වැදගත්කම එයින් අවධාරණය වූවා. ලෝකයේම වායු දූෂණ මට්ටම කෙමෙන් අඩු කරවීමට එහිදී පොදු එකඟතාවෙන් කටයුතු කෙරෙන ආකාරය කතා කළා. අතිශයින් වායු දූෂණයට දායක වන රටවල් සහ එතරම් වායු දූෂණ මට්ටමක් නැති රටවල් යනාදී සියල්ලන්ම එකට එක්වී කතාබහ කිරීම මෙහිදී සිදු වූ විශේෂත්වයක්.

අපි දැන් මේ කතාබහේ අවසානයට ළඟා වෙලා?

මෙරට පවතින ප්‍රමිති, පිරිවිතර අනුවයි රටට ඇතුළු වීමට ඉඩ ඇති වාහන පිළිබඳ තීරණය වෙන්නේ. යම් හෙයකින් වෙනත් රටවලින් ඉවත දැමූ රථ වාහන ආදිය වැඩිපුර මෙරටට ඇතුළු වීමේ අවදානම එහෙම නොවුණොත් තියෙනවා. ඉන් පිට කෙරෙන වායුවලින් පරිසරයට හානි වෙන්න පුළුවනි. එසේම, එවැනි වාහන ආදිය මිලදී ගත් ජනතාවට ඒවා නඩත්තුව පිණිසත් වැඩි වියදමක් දැරීමට සිදු විය හැකියි. ඒ අනුව එය, යූරෝ – 4 ආදී ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමට මෙරට කටයුතු කර තිබෙනවා. හිතුමතේ එළිමහනේ ගිනි තැබීම් ආදියෙන් පරිසරයට විශාල හානියක් වෙනවා. එසේම එය නීති විරෝධියි. සමහරු ඒ වග දන්නේ නැහැ. විශේෂයෙන්ම අපද්‍රව්‍ය වශයෙන් ඉවත දමන, පොලිතින්, ප්ලාස්ටික්, රසායනික ද්‍රව්‍ය ආදියට ගිනි තැබීමෙන් විශාල වශයෙන් පරිසරයට විෂ වායු එකතු විය හැකියි. ඉන් ඉතා කෙටි කලක් තුළ වැඩි දෙනකුට හානි වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසයි අපි කියන්නේ, මේ රජයට හෝ රාජ්‍ය නිලධාරින්ට තනිව ජයගත හැකි අර්බුදයක් නෙවෙයි කියලා. හැමෝම වායුගෝලය පිළිබඳ යහපත් ආකල්පයකින් යුතුව, එහි වැදගත්කම පිළිබඳ දැනුවත් වීමෙන්, තමනුත් අනුනුත් සඳහා සුවදායී පරිසරයක් තැනීම වෙනුවෙන් වගකීමෙන් කටයුතු කළ යුතු වෙනවා.

නුවන් මහේෂ් ජයවික්‍රම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT