සූර්ය ග්‍රහ මණ්ඩලයේ වඩාත්ම අනතුරුදායක ග්‍රහකයා ලෙසත්, ගල් පර්වතයක් ලෙසත් විද්‍යාඥයන් හඳුන්වනු ලබන බෙන්නු ග්‍රහයේ ධූලි හා පස් පෘථිවියට රැගෙන එනු ලැබූ බව නාසා ආයතනය ප්‍රකාශ කළේය. බීබීසී පුවත් සේවය වාර්තා කරන්නේ අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය ධූලි හා පස් සාම්පල රැගත් කැප්සියුලය එරට ගුවන් හමුදාවට අයත් යූටා ප්‍රාන්තයේ බටහිර කාන්තාරයට සාර්ථකව පතිත කළ බවය.
ඒවා නාසා ආයතනයෙන් අභ්‍යවකාශයට යවනු ලැබූ ඔසිරිස්- රෙක්ස් යානය මඟින් වසර 2020දී බෙන්නු ග්‍රහයේ මතුපිටින් සූරා ගත් සාම්පල වන අතර, ඉදිරි වසර 150 හෝ වසර 300 ඇතුළත පෘථිවියේ ගැටීමට ඉඩ ඇතැයි කියන එම කඳු සහිත වස්තුව ගැන වැඩි දෙයක් දැනගැනීම නාසා ආයතනයේ අවශ්‍යතාව වී ඇත.
මීට අමතරව මීට වසර බිලියන 4.6කට පෙර සූර්ය ග්‍රහ මණ්ඩලයේ තත්ත්වය ගැන අලුත් හෙළිදරව්වක් එම සාම්පල මඟින් ලබාගත හැකි වනු ඇතැයි ද පෘථිවියේ ජීවීන්ගේ ඇරැඹුම සිදු වූ ආකාරය ගැනත් එමඟින් සොයාගත හැකි වනු ඇතැයි ද නාසා ආයතනය විශ්වාසය පළ කර තිබේ.
බෙන්නු ග්‍රහයාගෙන් ධූලි හා පස් ලබා ගැනීමට හැකිවීම නාසා ආයතනයේ ජයග්‍රහණයක් වන බවත්, එහි විද්‍යාඥයන් ඔසිරිස්- රෙක්ස් අභ්‍යවකාශ යානයෙන් පොළොවට මුදාහල කැප්සියුලය යූටා කාන්තාරයට නිරුපද්‍රිතව පතිත වීමෙන් පසු ඔවුන් ජයඝෝෂා නැඟූ බවත් වැඩිදුරටත් වාර්තා වේ.
මෝටර් රථයක ටයරයක තරම් ප්‍රමාණයෙන් යුතු එම කැප්සියුලය පොළොවට පතිත වූයේ ගුවනේදී මහා හඬක් නංවමිනි. අධික වේගයෙන් පෘථිවියට පැමිණි කැප්සියුලයට ගුවනේදී ස්වයංක්‍රීයව දිග හැරෙන පැරෂූටයක් ද ඊට අමුණා තිබූ බැවින් එය පොළොවේ පතිතවීමේදී සිදු විය හැකි අනතුරුදායක බව මුළුමනින්ම මඟ හරවා ගැනීමට නාසා ආයතනයට හැකි වී තිබිණි.
මේ කුඩා කැප්සියුලයට තමන්ට පවරා තිබුණු රාජකාරිය ගැන හොඳ අවබෝධයක් තිබුණා.‘ එය නිපදවනු ලැබූ ලොක්හීඩ් මාටින් අභ්‍යවකාශ නිෂ්පාදන සමාගමේ ප්‍රධාන ඉංජිනේරු ටිම් ප්‍රිසර් සඳහන් කර තිබේ.
‘එය පොළොවට පතිත වූයේ කුරුළු පිහාටුවක් වගෙයි‘ ඔහු වැඩිදුරටත් එසේ ප්‍රකාශ කර ඇත.
කැප්සියුලයෙන් රැගෙන ආ බෙන්නු ග්‍රහකයේ සාම්පල බරින් ග්‍රෑම් 250ක් වූ අතර, එය අතපත ගෑමට නාසා හි විද්‍යාඥයන්ට නොඉවසිල්ලක් තිබුණු බව ද වාර්තා වේ. එම ප්‍රමාණය නාසා ආයතනයට සිය පරීක්ෂණ සඳහා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩි බව ද සඳහන් වේ.
යූටා කාන්තාරයට පතිත වූ කැප්සියුලය පසුව විද්‍යාඥයන් විසින් ආධාරකයකින් හෙලිකොප්ටරයකට අමුණා එය යූටා ප්‍රාන්තයේ තාවකාලිකව ඉදිකර තිබුණු පර්යේෂණ මාධ්‍යස්ථානයකට රැගෙන ගොස් ඇති අතර, එහිදී වැඩිදුරටත් අධ්‍යයනය කිරිමෙන් පසු නාසා ආයතනය වෙත යොමු කිරිමට නියමිත බව වාර්තා වේ.
බෙන්නු ග්‍රහකයෙන් ලබාගත් ධූලි හා පස් සාම්පල පරීක්ෂණයේ පළමු ප්‍රකාශය ලොවට ලබා දීමට නාසා ආයතනය ලබන ඔක්තෝබර් මස 11 වැනිදා මාධ්‍ය හමුවක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති අතර, පර්යේෂණය පුළුල් කිරීමට එම සාම්පලයේ කුඩා අංශු ලොව පුරා සෙසු ග්‍රහවස්තු පර්යේෂණ කණ්ඩායම් වෙත බෙදා හැරීමට ද නියමිතය. ලොවම කතා කරන බෙන්නු ග්‍රහකය ගැන සම්පූර්ණ වාර්තාවක් සකස් කිරීමට තවත් වසර දෙකක් පමණ ගත වනු ඇතැයි ද වාර්තා වේ.