Tuesday, December 5, 2023
Home » සික් ජාතිකයාගේ ඝාතනයට කැනඩා අගමැතිට රටවල් පහකින් බුද්ධි තොරතුරු

සික් ජාතිකයාගේ ඝාතනයට කැනඩා අගමැතිට රටවල් පහකින් බුද්ධි තොරතුරු

-කැනඩාවේ අමෙරිකානු තානාපති කියයි

by sachintha
September 26, 2023 1:00 am 0 comment

කැනඩාවේදී සික් ජාතික බෙදුම්වාදී නායකයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට ඉන්දියාවේ සම්බන්ධයක් ඇති බවට කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩෝ ප්‍රකාශ කළේ රටවල් පහේ ඒකාබද්ධ බුද්ධි අංශ තොරතුරු මත බව එරට අමෙරිකානු තානාපතිවරයා ප්‍රකාශ කර තිබේ. සීඑන්එන් පුවත් සේවය සඳහන් කරන්නේ කැනඩාවේ අමෙරිකානු තානාපති ඩේවිඩ් කොහේන් සම්මුඛ සාකච්ඡාවකදී එය තහවුරු කළ බවය.

‘ෆයිව් අයිස්‘ නමින් හඳුන්වනු ලබන අමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය රටවල් පහේ බුද්ධි අංශ එකමුතුව අතර හුවමාරු වූ බුද්ධි තොරතුරු මත බව අමෙරිකානු තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් එම බුද්ධි තොරතුරු අමෙරිකාව විසින් කැනඩාවට සපයනු ලැබුවේ දැයි යන්න පිළිබඳ ඔහු තහවුරු කර නැති බව ද වාර්තා වේ.

සික් දේවස්ථානයක් ඉදිරිපිටදී පසුගිය ජුනි මාසයේදී සිදු වූ සික් ජාතිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඉන්දියාව සහ කැනඩාව අතර උද්ගත වූ රාජ්‍යතාන්ත්‍රික අර්බුදය උත්සන්න වී ඇති අතර, ඊට ඉන්දියාවේ සම්බන්ධයක් ඇති බවට කැනඩාවේ අගමැතිවරයා විසින් කරනු ලැබූ ප්‍රකාශයට විරෝධය පා ඉන්දියාවේ සිටින කැනේඩියානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියාට රටින් පිටවීමට සිදුවූ අතර, එරට ජාතිකයන්ට ඉන්දීය විසා නිකුත් කිරිම ද අත්හිටුවා තිබේ.

සික් ජාතික නායකයා ඝාතනයට ලක්වීම පිටුපස ඉන්දියාවේ සම්බන්ධතාවක් ඇතැයි තමා මිට පෙර කළ ප්‍රකාශය කිසිසේත්ම වෙනස් කර නොගන්නා බව පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැසිවාරය සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ගොස් සිටි කැනඩාවේ අගමැතිවරයා දෙවැනි වතාවටත් කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT