මත්කුඩු විකිණීම සහ මත්කුඩුවලට ඇබ්බැහි වූ පුද්ගලයින් සොරකම් කරන ජංගම දුරකතන ඇතුළු වටිනා භාණ්ඩ ලබාගෙන ඒ වෙනුවට ඔවුන්ට මත්කුඩු ලබා දෙන මහනුවර දංගොල්ල ප්‍රදේශයේ පනස්තුන් හැවිරිදි කාන්තාවක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මත්කුඩු පානය කිරීම සඳහා ඇබ්බැහි වූ පුද්ගලයින් සොරකම් කර මත්කුඩු ලබා ගැනීම සඳහා මෙම කාන්තාවට ලබා දී තිබූ ජංගම දුරකතන 49ක් වතුර මෝටරයක් හා රූපලාවණ්‍ය භාණ්ඩ තොගයක් පොලිසිය සොයාගෙන ඇත.
මත්කුඩු ග්‍රෑම් 2.5ක් සහ රුපියල් 192,000ක මුදලක් ද ඇය සතුව තිබී පොලිසිය භාරයට ගෙන තිබේ. සැකකාර කාන්තාව මෙයට පෙරද මත්කුඩු සමඟ පොලිස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිට ඇති බව පොලිසිය පවසයි.
මෙම කාන්තාව මහා පරිමාණයෙන් යළිත් මත්කුඩු ජාවාරමේ නිරත වන බවට ලද තොරතුරකට අනුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතාගේ උපෙදස් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් නිෙවස වැටලීමට පියවර ගෙන තිබේ.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ කාන්තාව එළඹෙන 07 වැනිදා දක්වා රඳවා ප්‍රශ්න කිරීම සඳහා නියෝගයක් ලබාගත් බව පොලිසිය පවසයි. මත්කුඩුවලට ඇබ්බැහි වූ තරුණයින් සොරකම් කරන ලද රුපියල් පනස් දහසක් පමණ වටිනා ජංගම දුරකතන මෙම කාන්තාව රුපියල් 2000කට පමණ මිල කර ඊට සරිලන ලෙස මත්කුඩු ලබා දී තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.
ජංගම දුරකතන හා වෙනත් භාණ්ඩ සොරා ගැනීම් සම්බන්ධයෙන් මහනුවර අවට පොලිස් ස්ථානවලට ලැබී ඇති පැමිණිලි අනුව මෙම කාන්තාව සතුව තිබී සොයාගත් භාණ්ඩ සම්බන්ධ විමර්ශනයක් පොලිසිය ආරම්භ කර ඇත.
අසේල කුරුළුවංශ