Friday, May 9, 2025
Home » කප්පම් මුදල් නොදුන්නැයි ටයිම් කීපර් බස් රියැදුරාට පහර දීලා

කප්පම් මුදල් නොදුන්නැයි ටයිම් කීපර් බස් රියැදුරාට පහර දීලා

by sachintha
September 26, 2023 1:01 am 0 comment

පස්සර සිට බදුල්ල හරහා කොළඹ බලා ධාවනය වෙමින් තිබූ අධි සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයකින් රු. 2000ක කප්පම් මුදලක් ඉල්ලා එම මුදල නුදුන් නිසා ඊයේ (25) අලුයම පෞද්ගලික බස් සමාගමක වේලාසටහන්කරුවකු විසින් බදුල්ල නගරයේ ප්‍රධාන බස්රථ නැවතුම්පොළේදී බස් රථයේ රියැදුරුට පහරදීමෙන් රියැදුරු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි.

මෙසේ තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ පස්සර කොළඹ අධි සුඛෝපභෝගී පෞද්ගලික බස්රථ රියැදුරෙකු වන බදුල්ල, බදුලුපිටිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයකු යැයි පොලිසිය පැවසීය.

පස්සර – බදුල්ල අතර ධාවනය වන මෙම අධි සුඛෝපභෝගී පෞද්ගලික බස්රථය පස්සර නගරයෙන් ඊයේ (25) අලුයම 12.30 ට කොළඹ බලා ගමන් ආරම්භ කර බදුල්ල නගරයට පැමිණ බදුල්ල නගරයෙන් අලුයම 1.25 ට පිටත්වීම සඳහා බදුල්ල නගරයේ ප්‍රධාන බස්රථ නැවතුම්පොළ අසල නවතා තිබියදී පැමිණ ඇති මෙම සැකකාර වේලාසටහන්කරු එම බස් රථයට ගොඩවී බස් රථයේ රියැදුරු අසුනේ අසුන්ගෙන සිටි රියැදුරු අසලට ගොස් මුදල් රුපියල් 2000ක් ඉල්ලා ඇති බවත්, රියැදුරු එම මුදල් දීම ප්‍රතික්ෂේප කිරීම නිසාවෙන් ඔහු නැවත රුපියල් 1000ක් හරි දෙන ලෙසට ඉල්ලා ඇති බවත් එම මුදල් දීමද රියදුරු ප්‍රතික්ෂේප කර ඇති බව ද පොලිසිය සඳහන් කළේය.

අනතුරුව රියැදුරු බස් රථය ධාවනය කිරීමට උත්සහ ගැනීමේදී මොහු ඊට බාධා සිදුකර ඇති බවත්, පසුව රියැදුරු බස් රථය නවතා තබා බසයෙන් බිමට බැසීමත් සමඟ මෙසේ සැකකාර වේලාසටහන්කරු රියැදුරුට අතින් පයින් පහර දී ඇතැයි පොලිසිය පැවසීය.

ඒ වන විට බස් රථය තුළ මගීන් 35ක් පමණ සිටි අතර, පහරකෑමෙන් අනතුරුව රියැදුරු බස්රථය බදුල්ල පොලිසිය අසලට ගොස් නවතා මේ සම්බන්ධයෙන් බදුල්ල පොලිසියට පැමිණිලි කර ඇත. පසුව එම බස් රථය සඳහා එම අදාළ බස් සමාගමේ වෙනත් රියැදුරෙකු යොදවා බස් රථය මගීන් රැගෙන කොළඹ බලා ධාවනය කෙරිණ. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත. බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී. එම්. රත්නායක මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

සොරණාතොට සමූහ – සී. ගමගේ, ඌව පළාත් සමූහ – ප්‍රසන්න පත්මසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT