මීගොඩ 20 කණුව ප්‍රදේශයේ පවත්වාගෙන යන ගෘහ භාණ්ඩ තොග වෙළෙඳ සැලකට 25 දින සවස මුහුණු සම්පූර්ණයෙන් ම ආවරණය වන සේ යතුරුපැදි හිස්වැසුම් පැලඳ ගිනි අවි දෙකක් අතැතිව පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එහි සේප්පුවේ තිබූ රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
කොල්ලකරුවන් දෙදෙනා ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ පිස්තෝලයක් රැගෙන ආයතනයට ඇතුළු වී එහි පිළිගැනීමේ නිලධාරිනියන් දෙදෙනාගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කරගෙන ගොස් ගිනි අවි හිසට තබා බියකර සේප්පුවෙහි රහස් අංකය විමසා එය විවෘත කර එහි තිබූ මුදල් රැගෙන පලා ගොස් ඇති බව ද පොලිසිය පවසයි. එම කොල්ලකරුවන් දෙදෙනා පලා යන අවස්ථාවේදී එහි පිරිසිදු කිරීමේ සේවකයෙකුගේ මුහුණට හමු වී ඇති බවත් ගිනි අවි පෙන්නා තර්ජනය කිරීම නිසාවෙන් බියට පත් සේවකයා දිව ගොස් ඇතැයි ද සිදු කළ විමර්ශනයේදී අනාවරණය වූ බව ද පොලිසිය පවසයි.
එම ආයතනය තුළ සවිකර තිබෙන ආරක්ෂිත කැමරා සහ අවට කැමරා දර්ශන ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කළ බව මීගොඩ පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසීය.
මීගොඩ – බී. කේ. කත්‍රිආරච්චි බණ්ඩාරගම – බිමල් ජයසිංහ