හක්මන නරවැල්පිට, බටහිර, කටුඉඹුල්ගාහේන පදිංචිව නැසීගිය ජී.ජේමිස් සිඤ්ඤො සහ ඊ. පී. ඇල්පිනාහාමි මව්පියන්ට දාව සහෝදරයන් දෙදෙනකුට හා සහෝදරියන් දෙදෙනකුට වැඩිමහල් සොයුරා ලෙස ගමගේ අමරසේන නම් වූ අප කතානායකයාණෝ 1951 – 10 මස 09 වන දින මෙලොව එළිය දුටුවේය. නරවැල්පිට මධ්‍ය මහ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලත් ඔහු කුඩා කල පටන් පැවිදි වීමට ඇති වූ දැඩි ඇල්ම මත ස්වකීය මවුපියන් විසින් හක්මන, නරවැල්පිට, බටහිර ශ්‍රී ධර්මාරාම විහාරාධිපතිව වැඩ විසූ අමරපුර මුම්මවංශාභිධජ සිරිසද්ධම්ම යුක්තික මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ගලගම ධම්මාරාම නාහිමියන්ට භාරදෙන ලදි.
කුඩා සාමණේර භික්ෂුවකනට අවශ්‍ය බණ දහම් ප්‍රගුණ කළ මේ කුලකුමරුවා ගලගම ධම්මාරාම නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1965 ජුනි මස 11 වැනි දින නරවැල්පිට බටහිර ශ්‍රී ධර්මාරාමයේදී ප්‍රව්‍රජ්‍යාභූමියට පත්කකෙරිණි. නරවැල්පිට අමරමෝලි නමින් ප්‍රව්‍රජ්‍යාභූමියට පත් අප සාමණේරයන් වහන්සේට අවශ්‍ය උගත මනා බණ දහම් ප්‍රගුණ කිරීමට ගාල්ල ගින්තොට විද්‍යාරාජ මහ පිරිවෙනට ඇතුළත් කරන ලදි. ගාල්ල ගිංතොට විද්‍යාරාජ මහ පිරිවෙනින් උසස් අධ්‍යාපනය දක්වා උගත් අප හිමිපාණෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් බාහිර උපාධිය ලබා ගත්හ.
භික්ෂුත්වයේ උපරිමය වූ උපසම්පදාවට පත් වීම ගාල්ල ගිංනදී උදකුක්ඛේප සීමාමාලකයේදී 1983 ජූලි මස 15 වන දින අමරපුර මුම්මවංශාභිධජ සිරිසද්ධම්ම යුක්තික මහා නිකායේ මහානායක වලස්මුල්ල ඕලුආර පූර්වාරාමය ඇතුළු විහාර ගණයේ අධිපති මහා මහෝපාධ්‍ය කණුමුල්දෙණියේ සෝරත මහානාහිමිගේ උපාධ්‍යායත්වයෙන් ගලගම ධම්මාරාම නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් බුරුම ජාතික සිග්ගව නාහිමි ප්‍රමුඛ බුරුම ජාතික මහ සඟරුවන ඇතුළු මහ සඟරුවනගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.
නරවැල්පිට ධර්මාරාම විහාරාධිපති ගලගම ධම්මාරාම නාහිමිපාණන් වහන්සේ අපවත් වූයෙන් පසු එතැන් සිට ශ්‍රී ධර්මාරාම විහාරාධිපති ලෙස පත් වූ නරවැල්පිට අමරමෝලි හිමියන්ගේ නායකත්වය යටතේ එතෙක් ගොඩනඟා තිබූ විහාරස්ථානයේ අභිනව සංඝාවාසය, චෛත්‍ය රාජයාණන් වහන්සේ සතර මහා දේවාලය සැකසීමට හා විහාරස්ථානයේ සුවිශේෂී සංවර්ධනය කිරීමට නායකත්වය ලබා දෙන ලදි.
1988 වසරේ සිට 2006 වසර දක්වා හක්මන කැබිලියපොළ මහාවිහාර පිරිවෙන්හි නියෝජ්‍ය පරිවේණාධිපති ලෙස වසර 18ක් පිරිවෙන් අධ්‍යාපනය කරමින් අනාගත සසුනට අවැසි සිසු දරුවන් දායාද කිරීමට කටයුතු කරන ලදහ. තමන් වහන්සේ කළ ශාසනික සේවය ඉදිරියට පවත්වාගෙන යෑමට සිසුන් කීප දෙනකු සසුනට දායාද කළ අතර දැනට හක්මන,ඇල්ලවෙල, නැඟෙනහිර ශ්‍රී සාරිපුත්තාරාම විහාරස්ථානයේ විහාරාධිපති හම්බන්තොට කලාප පිරිවෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ශාස්ත්‍රපති නරවැල්පිට වජිරබුද්ධි හිමි සහ වලස්මුල්ල නතුවල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරාධිපති, වලස්මුල්ල ජාතික පාසලේ ධර්මාචාර්ය ශාස්ත්‍රවේදී නරවැල්පිට සමිද්ධි හිමි සසුන්කෙත සරු කරමින් වැඩ වසති.
විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේ නමක් ලෙස ජනහදවත් දහමින් සුවපත් කළ පිරිත් පේ කිරීමට හසල හැකියාවක් තිබූ උන්වහන්සේ (72) අපවත් වූයෙන් උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය හෙට (27) ප.ව. 2.00ට නරවැල්පිට ශ්‍රී ධර්මාරාම විහාරස්ථානය අසල දී සිදු කිරීමට නියමිතය.