Sunday, May 11, 2025
Home » රට ස්ථාවර වෙලා නවතා දැමූ ආයෝජන ව්‍යාපෘති 40ක් යළි අරඹයි

රට ස්ථාවර වෙලා නවතා දැමූ ආයෝජන ව්‍යාපෘති 40ක් යළි අරඹයි

by sachintha
September 26, 2023 1:00 am 0 comment

රටේ ආර්ථිකය කඩා වැටීමත් සමඟ ගිවිසුම් අත්සන් කිරීම නවතා දැමූ ආයෝජන ව්‍යාපෘති 30ත් 40ත් අතර ප්‍රමාණයකට නැවත ගිවිසුම් අත්සන් තැබීමට ආයෝජකයෝ කැමැත්ත පළ කර තිබේ.

රට නැවත ස්ථාවර තත්ත්වයට පත් වන බවට වූ විශ්වාසය මත මොවුන් එම ගිවිසුම් අත්සන් තැබීමට කැමැත්ත පළ කළ බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම මහතා පැවසුවේය. මහනුවර දී ඊයේ (25) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී ඇමැතිවරයා පැවසුවේ ඒ අනුව ඉදිරියේදී තවත් මිලියන 250ක හා මිලියන 280ක ගිවිසුම් අත්සන් තැබීමට නියමිත බවයි.

ආයෝජන මණ්ඩලයට රුපියල් බිලියනයක ආයෝජන ඉලක්කයක් රජය මේ වසරේ ලබා දී තිබෙන බවත් එය බිලියන දෙකක් දක්වා වූ අගයක් කරා ගෙන යෑමට මේ අනුව හැකි වන බව ද අමුණුගම මහතා කීවේය.

මේ වන විට රුපියල් මිලියන 701ක ආයෝජන ඉලක්ක සපුරා ගනිමින් අදාළ මුදල් රටට ගෙනවිත් තිබේ. ආර්ථික කඩා වැටීමත් සමඟ පසුගිය කාලයේ දී අත්සන් කිරීමට නියමිතව තිබූ ගිවිසුම් 30-40ක ප්‍රමාණයක් ආයෝජකයන් විසින් අත්හිටුවා තිබුණි. රට ස්ථාවර මට්ටමකට පත්වෙන බවට විශ්වාසයක් තබා ඔවුන් නැවත ගිවිසුම්ගත වීමට කැමැත්ත පළකර තිබෙන බව ද රාජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය.

රටේ පවතින දේශපාලන ස්ථාවරත්වය හා ජනපති ප්‍රමුඛ රජයේ ආර්ථික වැඩපිළිවෙළ ආයෝජකයන් රටට ඇදී ඒමට ඍජුව බලපා තිබෙන බවත් මේ වන විට රටේ ක්‍රියාත්මක වෙමින් තිබෙන ඝාතන රැල්ල කඩිනමින් පාලනය නොකළහොත් එය විදේශීය ආයෝජන කෙරෙහි අයහපත් ලෙස බලපානු ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුවන්නේ ආයෝජකයන්ට සහන නොදිය යුතුය යන ස්ථාවරයේ වුවත් ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට නම් යම් ප්‍රමාණයකට හෝ සහන දිය යුතුය යන මතයේ ජනපති ප්‍රමුඛ රජය පසුවන බවත් අදාළ සහන ලබාදීම සිදු කරන්නේ කොයි ආකාරයට ද යන්න පිළිබඳව සොයා බලමින් සිටින බවත් ඇමැතිවරයා පැවසුවේය.

කොළඹ වරාය නගරය ආයෝජකයන්ට හඳුන්වාදීමේ වැඩසටහනක් හිටපු අගමැති ජේම්ස් කැමරන් මහතාගේ ප්‍රධානත්ව‍ෙයන් අද (26) අබුඩාබි හා ඩුබායිවල සිදු කරන බවත් මේ වන විට ඩුබායි හා අබුඩාබි හි වෙනත් ආයෝජන සමුළු කිහිපයක් පැවැත්වෙන බැවින් ඔවුන්වද මෙම වැඩසටහන්වලට කැඳවා තිබෙන බවත් කී අමුණුගම මහතා මේ වන විට ආයෝජකයෙකුට වරායේ නගරයේ වැඩ ආරම්භ කිරීමට අවශ්‍ය නීති රාමුව සකස් වී ඇතැයි ද අවධාරණය කළේය.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT