Home » කුකීස් අතර සඟවා කෝටි 30ක කොකේන් ගෙනා කෙන්යානුවා රේගු දැලේ

කුකීස් අතර සඟවා කෝටි 30ක කොකේන් ගෙනා කෙන්යානුවා රේගු දැලේ

by sachintha
September 26, 2023 1:00 am 0 comment

රුපියල් කෝටි 30ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ඉතියෝපියාවේ සිට රැගෙන ආ කෙන්යානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (24) රාත්‍රීයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු 26 හැවිරිදි කෙන්යානු ජාතික මෝටර් රථ ව්‍යාපාරිකයෙකි. මෙම කෙන්යානු ජාතිකයා ඉතියෝපියාවේ අඩිස්අබාබා නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. – 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මොහු විසින් රැගෙන ආ අත් බෑගය තුළ (කුකීස්) බිස්කට් අඩංගු ටින් 03ක් තුළ කිලෝග්‍රෑම් 04ක් බරැති කොකේන් මත්ද්‍රව්‍ය කරල් 180ක් සඟවා ගෙන පැමිණ තිබූ අතර, ඔහු කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති (හරිත මාවත) (Green Chanel) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යාමට සූදානම් වන අවස්ථාවේ දී රේගු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.

මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සඳහා රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රේගු පරිශ්‍රය වෙත පැමිණ සිටියේය.

මෙම කෙන්යානු ජාතිකයා ශ්‍රී ලංකාවට පළමු වරට පැමිණ තිබූ අතර මෙම සිදුවීම පිළිබඳව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය වෙත ජාත්‍යන්තර බුද්ධි තොරතුරු ලැබී තිබුණි. මෙසේ අත්අඩංගුවට ගත් කෙන්යානු ජාතිකයා සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.

කටුනායක – ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT