ජනතා බදු මුදල් වැය කර මිලදී ගැනීම් සිදු කර තිබෙන රුපියල් කෝටි ගණනක ඖෂධ භාවිතයට නොගෙන ඉවත දැමීමට සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
කොවිඩ් පාලනය සඳහා 2022 වසරේ දී මිල දී ගෙන තිබූ ෆයිසර් එන්නත් මිලියන 14.5 කින් භාවිතයට ගෙන තිබුණේ 13 %ක් පමණක් බවත් කල් ඉකුත්වීම නිසා ඉතිරි සියල්ල විනාශ කිරීමට සිදුවූ බවත් ඒ මහතා කීය.
මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු ශ්වසන රෝග සඳහා ලබාදෙන ඖෂධ අවශ්‍ය ප්‍රමාණය ගණනය කර වාර්ෂිකව අදාළ ඇණවුම් සිදු කරන බවත් කොවිඩ් සමයේ මුහුණු ආවරණ පැලඳීම, අත් සේදීම වැනි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්වසන රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව 2022 දී සැලකිය යුතු ලෙස අඩු වූ බවත් මේ නිසා ඇණවුම් කළ ඖෂධවලින් 80 % ක් පමණම භාවිතයට නොගැනීම නිසා ඉවත දැමීමට සිදුවූ බවත් ඇමැතිවරයා පැවසුවේය.
හිටපු ජනපතිවරයා ඇතුළු වෛද්‍ය කණ්ඩායම් අවුරුදු 20ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත ලබාදිය යුතු බවට සද්භාවයෙන් තීරණය කර ෆයිසර් එන්නත් මිලියන 14.5ක් ආනයනය කර තිබෙන බවත් කොවිඩ් ව්‍යාප්තිය යම් ප්‍රමාණයකට පාලනය වීමත් සමඟ නිකරුණේ එන්නත ලබා ගැනීම වෙනත් රෝගවලට අතවැනීමක් ලෙස සමාජය පුරා පැතිර ගිය මතයට ප්‍රතිචාර දක්වමින් ජනතාව එන්නත ලබා ගැනීමෙන් වැළකී සිටීම නිසා අදාළ එන්නත් තොගය ඉතිරි වූ බවත් රඹුක්වැල්ල මහතා කීවේය.
මෙම එන්නත්වල ජීව කාලය අවසන් වීමට පෙර ඒවා යාබද හිතවත් රටවලට ලබා දීමට ඇති හැකියාව සම්බන්ධව තමන් සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සාකච්ඡා කළ බවත් ඒ අනුව එන්නත් ලබා ගැනීමට ඉදිරිපත් වූ රටවල් තුනක් ගබඩා කිරීම් ඇතුළු ප්‍රශ්න කිහිපයක් නිසා පසුව ඒවා ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා විනාශ කිරීම හැර වෙනත් විකල්පයක් නැති වූ බවත් සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
වර්ෂ 2015 සිට නිකුත් වූ විගණන වාර්තා තමන් සතු බවත් ඒවාට අනුව සෑම වසරකම කල් ඉකුත් වීම නිසා ඖෂධ ඉවත දැමීම් සිදුව තිබෙන බවත් කී ඒ මහතා එසේ වූ පමණින් ප්‍රශ්නය ලිහිල්කොට නොසලකා ඒ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කරන්නේ යැයි ද අවධාරණය කළේය.
ඖෂධ ඉවත දැමීම සම්පූර්ණයෙන් නැති කළ නොහැකි නමුත් අවම කර ගැනීම සඳහා වන වැඩපිළිවෙළකට යා යුතුව තිබෙන්නේ යැයි ද ඒ මහතා කීය.
අසේල කුරුළුවංශ