Home » කුවේට් රැකියා පෙන්වා ලක්ෂ 26ක් වංචාකළ අයෙක් අත්අඩංගුවට

කුවේට් රැකියා පෙන්වා ලක්ෂ 26ක් වංචාකළ අයෙක් අත්අඩංගුවට

by chanaka
September 26, 2023 2:08 pm 0 comment

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කුවේට් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු කාර්යාංශයේ ඌව පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානයේ නිළධාරීන් විසින් පසුගිය 23වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ.

කුවේට් රාජ්‍යයේ ගබඩා සහයක වශයෙන් රැකියා අවස්ථා පවතින බවත්, ඒ සඳහා රුපියල් 450,000ක මුදලක් අවශ්‍ය බවත් මෙම පුද්ගලයා පවසා ඇති අතර, බදුල්ල නගරය අවට පදිංචි පුද්ගලයින් 8 දෙනෙකු රවටා මොහු රුපියල් ලක්ෂ 26ට අධික මුදලක් ලබාගෙන ඇත.

මුදල් ලබාදුන්නද පොරොන්දු වූ පරිදි රැකියා ලබානොදීම හේතුවෙන් එම පුද්ගලයින් කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලය වෙත පැමිණිලි කර ඇති අතර, ඒ අනුව ගම්පොල, අටබාගේ, අටබාගේ වත්ත ප්‍රදේශයේ පදිංචි කදිරේෂන් යශෝධරන් නම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් සැකකරු කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීම හා මුදල් ලබාගැනීම යන චෝදනාව යටතේ 2023.09.24 දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගත හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT