දිඹුලාගල රන්කෙත්ගම ගම්මානයෙන්, ගෙවත්තකට අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැකට ගැටී මියගිය වන අලියකුගේ සිරුර කොටස්වලට වෙන් කර වළදැමීමට සූදානම් කර තිබියදී එම නිවෙසේ හිමිකරු 25 වැනිදා අත්අඩංගුවට ගෙන දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දෙහිඅත්තකණ්ඩිය අතිරේක මහේස්ත්‍රාත් අයේෂා දිසානායක මහත්මිය නියෝග කළාය.
එම අපරාධයට සම්බන්ධව දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ සිරිපුර රන්කෙත්ගම ලිපිනයේ පදිංචි 56 වියැති ගොවියකු බව නාමල්ගම අඩවි ආරක්ෂක යූ. ඩී. ජී. පී.එම්.ආරියසිංහ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය. වනජීවී කාර්යාලයට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් සැකකරු එම වන අලියාට විදුලි සැර වැදී මියයෑමෙන් පසු ගෙවත්තේ කෙළවරක විශාල වළක් කපා වන අලියාගේ දකුණු පාදය සහ දකුණු අත කපා කොටස් කර වළ දැමීමට සූදානම් කර තිබී ඇත.
මේ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු 25 වෙනිදා සවස සිදුකිරීමට නියමිත බව නාමල්ගම වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩී.ජී.ඒ. දිනේෂ් මහතා අප කළ විමසීමකදී පැවසීය.
සිරිපුර මදුශානි අබේසිංහ