කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශල්‍යාගාරයක් තුළදී හෙද නිලධාරිනියකට කතුරකින් පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකු එකී චෝදනාවට වරදකරු බවට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු බන්දුල ගුණරත්න මහතා තීන්දු කළේය.
මෙසේ වරදකරු වූයේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ මෙම සිද්ධිය වන අවස්ථාවේ හිටපු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා මෙන්ම ගම්පහ මහ රෝහලේ වත්මන් ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා ලෙස සේවය කරන අශෝක විජේමාන්න මහතායි. විත්තිකාර ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා වරදකරු කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා කියා සිටියේ ශල්‍ය විශේෂඥ වෛද්‍යවරු කේන්තියෙන් හා කෝපයෙන් රාජකාරි නොකළ යුතු බවයි. මීට වඩා හික්මීමෙන් වගකීමෙන් හා සංයමයෙන් සිය රාජකාරි කළ යුතු බවද ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා සඳහන් කළේය. තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පැමිණිලිකාර හෙද නිලධාරිනියට මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ අවශ්‍ය නම් විත්තිකාර ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයාගෙන් වන්දි ඉල්ලා දිසා අධිකරණය හමුවේ නඩුවක් පැවරීමට හැකියාව පවතින බවයි. 2019 වසරේ මාර්තු මස 12 වන දින හෝ ඊට ආසන්න දිනයක කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශල්‍යාගාරයක් තුළදී එම ශල්‍යාගාරයේම සේවය කරමින් සිටි හෙද නිලධාරිනි රාජගුරු අධිකාරි මුදියන්සේලාගේ මාදවි බුද්ධිකා රාජගුරු මහත්මියට කතුරකින් පහරදී තුවාල සිදු කළ බවට මෙම විත්තිකාර ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල මූලස්ථාන පොලිසිය ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 314 වන වගන්තිය ප්‍රකාරව කරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණ. විත්තිකාර ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා මෙම වරද සිදු කරනු ලැබූ අවස්ථාවේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අදාළ ශල්‍යාගාරය තුළ සේවය කළ වෛද්‍යවරුන් දෙදෙනකු සහ හෙදියන් ඇතුළු ශල්‍යාගාර ස්‍යෙඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කරනු ලැබ සිටියහ.
එම සියලු සාක්ෂිකරුවන් විත්තිකාර ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයාට පක්ෂව සාක්ෂි ලබාදී තිබූ පසුබිමක් තුළ විත්තිකාර ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා ඔහුට එරෙහිව තිබූ චෝදනාවට අධිකරණය මඟින් වරදකරු කිරීම විශේෂත්වයකි. විත්තිකාර ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයාගෙන් පහර කෑමට ලක් වූ හෙද නිලධාරිනිය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයා ලබාදී තිබූ අධිකරණ වෛද්‍ය වාර්තාව සහ පැමිණිලිකාර හෙද නිලධාරිනිය ලබා දුන් සාක්කි සහ එම හෙද නිලධාරිනියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති දුණුසිංහ මහතා දීර්ඝව අධිකරණයට කළ කරුණු දැක්වීම් සහ පොලිස් නිලධාරීන්ගේ සාක්කි සැලකිල්ලට ගනිමින් විත්තිකාර ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා වරදකරු කරමින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණ.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන හෙද නිලධාරිනි මාදවී බුද්ධිකා රාජගුරු මහත්මිය කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන මෙහෙයවා විත්තිකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට එරෙහිව කුරුණෑගල මූලස්ථාන පොලිසිය කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණ. පැමිණිල්ල වෙනුවෙන් කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් පෙනී සිටි අතර, අගතියට පත් හෙද නිලධාරිනියගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති දුණුසිංහ මහතාත් විත්තිකාර ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා වෙනුවෙන් නීතිඥ අනෝමා ජයවර්ධන මහත්මිය පෙනී සිටියාය.
අනුරාධපුර – උපාලි ආනන්ද කරුණාදාස