Saturday, May 10, 2025
Home » වනිඳු ඉන්දියාව බලා යෑම වෙනුවට ශල්‍යකර්මයක් උදෙසා එංගලන්තයට

වනිඳු ඉන්දියාව බලා යෑම වෙනුවට ශල්‍යකර්මයක් උදෙසා එංගලන්තයට

by sachintha
September 26, 2023 1:00 am 0 comment

වනිඳු හසරංගගේ පාදයේ මස්පිඩු ආබාධය හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියට සහභාගීවීම උදෙසා ඉන්දියාව බලා යෑම වෙනුවට ශල්‍යකර්මයක් උදෙසා එංගලන්තය බලා පිටත්වීමට සිදුව තිබේ. පාදයේ ආබාධය දැනට පවතින තත්ත්වය අනුව වහාම ශල්‍යකර්මයක් සිදු කළ යුතු බවට වනිඳුට වෛද්‍ය උපදෙස් ලැබී ඇති අතර, ඒ සඳහා ක්‍රීඩකයාගේ කැමැත්ත තවමත් ප්‍රකාශ වී නැත. දැනට ඔහුගේ පාදයේ ආබාධ තත්ත්වය ව්‍යායාම් මගින් පුනරුත්ථාපනයට ලක්කළද, තවමත් පන්දු යැවීමට තරම් සුදුසු තත්ත්වයකට පත්ව නැතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය මණ්ඩල ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ‘දිනමිණ‘ට පැවැසීය.

“ ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන්න වනිඳුට අමාරුයි. වනිඳුට ශල්‍යකර්මයක් අවශ්‍ය බවට නිර්දේශ ලබාදී තිබෙනවා. මේ මොහොතේ, තත්ත්වය එතරම් හොඳ නෑ. ශල්‍යකර්මය නොකොට ක්‍රීඩා කළොත් යළිත් ආබාධය පැමිණෙන්න පුලුවන්. ඒ නිසා ඔහු එංගලන්තයේ හෝ ඔස්ට්‍රේලියාවේ විශෙෂඥ වෛද්‍ය මණ්ඩලයක් යටතේ ශල්‍යකර්මය කළ යුතුයි“ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවැසීය. මේ වන විට ඔහුගේ ආබාධ තත්ත්වය පිළිබඳ සියලු පරීක්ෂණ නිමා කොට ඇත.

කෙසේ වුවද ශ්‍රී ලංකා පිල අද මධ්‍යම රාත්‍රිය පසුවෙද්දී ලෝක කුසලාන තරගාවලිය උදෙසා ඉන්දියාව බලා පිටත් වී යෑමට නියමිත අතර, දුෂ්මන්ත චමීර හා වනිඳු හසරංග එම සංචිතයට ඇතුලත් නොවේ. වනිඳු මෙයට මාසයකට පමණ පෙර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ආබාධ තත්ත්වයට පත්විමෙන් අනතුරුව එම තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට නොදී විවේක ගැන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගත්තේය. අනතුරුව පැවැති ආසියානු ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම ද වනිඳුට අහිමි වී ගියේය.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT