ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා සහ දකුණු කොරියානු සාගර සහ ධීවර ඇමැති චෝ සෙන්ග් හවාන් (Cho seung hwan ) මහතා ඇතුළු නියෝජිත පිරිසක් අතර හමුවන් පසුගියදා දකුණු කොරියාවේදී සිදු විණි.
පසුගිය18-22 දින දක්වා ධීවර ඇමැතිවරයා දකුණු කොරියාවේ නිල සංචාරයක යෙදුන අතර එහිදී ශ්‍රී ලංකාවේ ධිවර ක්ෂේත්‍ර සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවන්හි නිරත විය.
මෙම සාකඡාවේදී චෝ සෙන්ග් හවාන් (Cho seung hwan ) මහතා ඇතුළු නියෝජිත පිරිස පෙන්වා දී ඇත්තේ ලෝක ආහාර සංවිධානයේ නිගමනයන්ට අනුව ,ලෝකයේ ඉදිරි අනාගතයේදී සාගරයේ මත්ස්‍ය සම්පත විනාශ වී අඩුවී යාමට හේතුවන දේශගුණික විපර්යාසයන් රැසක් සිදු වෙමින් පවතින බවත් ය. එම නිසා වැඩිවන ජනගහනයට අවශ්‍ය ප්‍රෝටීන් නිෂ්පාදනයේදී ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බැවින් දකුණු කොරියානු නියෝජිතයින්ගේ ඉල්ලීම වුයේ එම ප්‍රෝටීන් අවශ්‍යතාවය සැපයීමට අවශ්‍ය ජලජීවී වගාවන් සංවර්ධන කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කිරීම සුදුසු බවයි.
විශේෂයෙන් ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සැපීරීමට අවශ්‍ය මස් ලබා ගැනීම සදහා කෙරෙන ගොවිපොළ සඳහා විශාල වියදමක් දැරීමට සිදු වන බවත් මස් කිලෝවක් නිෂ්පාදනය සඳහා සතුන්ට (ගවයන්, කුකුලන්, බැටළුවන්) ආහාර කිලෝ 7.5- 08ක් පමණ සැපයිය යුතු අතර ඒ සඳහා අධික මුදලක් වැය වන බවත් පෙන්වා දුන් නියෝජිත පිරිස අවධාරණය කළේ ජලජීවී වගාවන් සඳහා මසුන් ඇතිකිරීමේදී මසුන් කිලෝවක් සඳහා වැය වන්නේ එම ආහාර කිලෝ 1.5ක් වැනි ප්‍රමාණයක් බවයි.එහෙයින් ජලජීවී වගාව සංවර්ධනය කිරීම අතිශය වැදගත්බව කොරියානු නියෝජිතයින් විසින් පෙන්වා දුන්නේය.
මේ පිළිබඳව අදහස් දැක්වු ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා, දකුණු කොරියානු සාගර සහ ධීවර ඇමැතිවරයා හමුවේ අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ ජලජීවී වගාව සංවර්ධනය සඳහා වූ ස්වාභාවික සම්පත් වැඩිදියුණු කර සංවර්ධනය කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි. ඒ සඳහා දකුණු කොරියාව වැනි දියුණු රටවලින් සිය රටට ආධාර හා තාක්ෂණික සහාය ලබා දෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා පැවසීය.
ශ්‍රී ලංකාවේ ජලජීවී වගාව සංවර්ධනය සඳහා දැනටමත්අවශ්‍ය පියවර රැසක් ගෙන ඇති බවත් විශේෂයෙන් මුහුදු කූඩැල්ලන් වගාපොළ රැසක් ආරම්භ කර ඇති අතර ඒවා නවීන තාක්ෂණය යටතේ ඉදිකිරීම සදහා සිය අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ හා ජාතික ජලජ සම්පත් සංවර්ධන හා පර්යේෂණ ආයතනය හරහා අවශ්‍ය උපදෙස් හා මුල්‍යධාර ද සපයමින් සිටින බවත් ඇමැතිවරයා කීය.
එසේම රට අභ්‍යන්තරයේ ඇති ජලාශවලට මත්ස්‍ය පැටවුන් දැමීම හා අභිජනනාගාර රැසක් ඉදිකර ඇති බවද ඒවා නවීන තාක්ෂණයෙන් යුතුව සංවර්ධනය කිරීමට අවශ්‍ය ආධාර තම රටට ලබා දෙන ලෙසද ඇමැතිවරයා ඉල්ලීමක් කළේය.
මෙම සංචාරය සඳහා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ද එක්විය.
බුද්ධිකා ඉඹුලාන