Tuesday, December 5, 2023
Home » රාජ්‍ය සේවය පිළිබදව යහපත් ප්‍රතිරූපයක් ජනතාව තුළ නැහැ

රාජ්‍ය සේවය පිළිබදව යහපත් ප්‍රතිරූපයක් ජනතාව තුළ නැහැ

by chanaka
September 27, 2023 3:59 pm 0 comment

ඉතා සුළු පිරිසකගේ ක්‍රියාකාරකම් හේතුවෙන් රාජ්‍ය සේවය පිළිබදව යහපත් ප්‍රතිරූපයක් ජනතාව තුළ නොමැති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ බදවා ගෙන අධිකරණ අමාත්‍යාංශය යටතේ සේවය කළ බහු කාර්ය සහායකයින් 18 දෙනෙකු සදහා කාර්යාල කාර්ය සේවක පත්වීම් ලිපි ප්‍රදානය කිරීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශයේ අද(27) පැවති උත්සවයක් සදහා සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ඇමතිවරයා මෙසේ ද සදහන් කළේය.

රාජ්‍ය සේවයේ සිටින ඉතා සුළු පිරිසකගේ ක්‍රියාකාරකම් හේතුවෙන් රාජ්‍ය සේවය පිළිබදව ජනතාව තුළ පවතින්නේ යහපත් ප්‍රතිරූපයක් නොවයි. ඒ නිසා රාජ්‍ය සේවය පිළිබදව ඇති එම තත්වය වෙනුවට ගෞරවණිය ප්‍රතිරූපයක් ගොඩනැංවීම සදහා කටයුතු කිරීම ඔබ සතු වගකීමක් හා යුතුකමක් වෙනවා. වර්තමානය තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රාජ්‍ය සේවය සදහා බදවා ගැනීම් සිදු කරන්නේ නැහැ. එහෙත් අත්‍යාවශ්‍ය රාජකාරී පවත්වා ගැනීමට ඔබ බදවා ගෙන තිබෙනවා. ඒ නිසා ගෞරවණිය රාජ්‍ය සේවකයෙක් වශයෙන් අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතන මගින් ජනතාවට ලබා දෙන සේවාව තවදුරටත් උසස් ආකාරයට ලබාදීමට කටයුතු කරමින් රාජ්‍ය සේවයේ ඉහළට යාමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවද අමාත්‍යතුමා සදහන් කළේය.

අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතීඥ, අනුරාධ ජයරත්න මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.

රාජ්‍ය සේවකයින් ලෙස අපේ අයිතිවාසිකම් පිළිබදව කථා කිරීමට පෙර රාජ්‍ය සේවයට අපි අතින් විය යුතු යුතුකම් හා වගකීම් ඉටු කළාද යන්න පිළිබදව කල්පනා කළ යුතුයි. අපේ රටේ බොහෝ දෙනා තමන්ගේ අයිතින් ගැන කථා කළත් ඇතැම් වෘත්තිකයින් නිසි පරිදි බදු ගෙවීම් කරනවාද යන්න සැකයක් පවතිනවා. ඒ නිසා මේ රට ගොඩනැගීමට අපේ වගකීම කුමක් ද යන්න තේරුම් ගෙන එය කිරීමට කල්පනා කළ යුතුයි. අද දින පත්වීම් ලබන ඔබ සාමාන්‍ය රාජ්‍ය සේවකයින්ට වඩා වෙනස් ආකාරයේ සේවයක් කිරීමට සිදු වන ආයතන වෙත යොමු කර තිබෙනවා.ඒ නිසා සාමාන්‍ය රාජ්‍ය සේවකයින්ට වඩා උසස් ආකාරයට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය අදහස් පළ කරමින් රාජ්‍ය සේවකයින් ලෙස අවංකව රට වෙනුවෙන් සේවය කරන ලෙසත්, උසස් සේවාවක් ජනතාව වෙනුවෙන් ලබා දෙමින් තම රාජ්‍ය සේවා ජීවිතය උසස් තත්වයට පත් කර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව සදහන් කළාය.

අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහණ හපුගස්වත්ත මහතා ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ බදවා ගෙන අධිකරණ අමාත්‍යාංශය යටතේ සේවය කළ බහුකාර්ය සහායකයින් 508 දෙනෙකු අදියර තුනක් යටතේ කාර්යාල කාර්ය සහායකයින් වශයෙන් අධිකරණ අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සදහා බදවා ගැනීමට කටයුතු කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2023 – All Right Reserved. Designed and Developed by Lakehouse IT