රැන්සම්වෙයා නම් වයිරසය 2017දී ලෝකයේ පරිගණක පද්ධති සසල කළ නම විය. රුසියාව, යුක්‍රේනය, තායිවානය, මහා බ්‍රිතාන්‍ය යන රටවල රෝහල් පද්ධති පවා මේ වයිරසයෙන් බිඳවැටුණේය. එහෙම පරිගණක වයිරස නිපදවා, අනුන්ගේ ක්‍රමවේද බිඳ දමා ‘ගන්නා ආතල් එක’ කුමක්දැයි බොහෝ දෙනාට ප්‍රශ්නයක් වනවා ඇත. මේ අය අතින් කා, හරක් බලන කුලයේ නොවේය. ඔවුහු අලුත්ම කප්පම් කල්ලිය වන්නාහ.
පාදඩ ලකුණු දරන මහපාරේ යන ‘අවුල් බඩු’ ජීවිකාව පිණිස කරන්නේ කප්පම් ගැනීමය. එක්කෝ බේකරියකට ගොස් නිකං බනිසක් දෙකක් කයි. සමහර එවුන්ට හෝටලයේ මුදලාලි, උදේ දවල්, සල්ලි නැතුව කෑම දෙන්නේය. ඒ පාත මාලයේ, කප්පම්කරුවෝය. මේ දවස්වල ‘සීන් එකේ – පීක් එකේම’ ඉන්නා හරක්කටාලා වගේ සෙට් නම්, මාසයට ලක්ෂ ගණන් මුලින්ම ගන්නේය. ඒවා ලොකු ලොකු සල්ලිකාරයන්ට දමන දඩ වේ. තවත් ‘සාධාරණයටම’ වැඩේ කරගෙන යන කප්පම් ගැන්සියක් වන්නේ, යූනියන් සෙට් එකය. ඒකා ටයර් ගන්නේ ද ‘ කොටුවක් පැනීම’ සඳහා හෝටල් කාමරයක් ගන්නේ ද ව්‍යාපාරිකයන් ගාණේය. කාක්කන් වෙත ආප්ප කඩේ මුල්ම දෙක තුන කඩා, වහලයට දමන්නා සේ ‘මෙගා බිස්නස් මෙන්ලා’ පක්ෂයෙන් යූනියන් එක බලන මල්ලිලාට ද එහෙම, කොටසක් වෙන් කර තිබේ.
ඔය අතරට අලුතෙන් එක්ව ඇත්තේ සයිබර් කප්පම් කල්ලිය. මේ න්‍යාය අවබෝධය සඳහා පළමුව සයිබර් කියන වපසරිය දැනගත යුත්තේය. අන්තර්ජාලයට පිවිසෙනවා කියන්නේ, අහසේ තියෙන දේවල් පහළට අදිනවා නොවේ. තවත් පරිගණකයක හෝ මෙමරියක ඇති දෙයකට ‘පිවිසෙනවා’ කියන එකය. ඒ සඳහා ඇති පාලම වන්නේ අන්තර්ජාලයය. අන්තර්ජාලය ඔස්සේ එහෙම පරිගණක සහ මතක ගබඩා තොගයකට පිවිසිය හැකිය. එහෙම පිවිසීම සඳහා ඇති වපසරිය වනාහි, සයිබර් අවකාශය වේ. සයිබර් අවකාශය යනු මිනිස් සමාජයේම කොටසකි. පොළොවේ සිටින එකාලාම ‘උඩුගත’ කරන හෙයින් එහි අන්තර්ගතය ද විවිධය. විෂමය. ‘නානත්ථ කායා නානාත්ථ සඤ්ඤා’ එහිදී ඇති බැවින් සයිබර් සමාජයේ ද කප්පම් කල්ලි බොහෝය.
මල්ටි බිලියන් සමාගම්වල වෙබ් අඩවි හැක් කරන වයිරස්කාරයෝ, ඒවා අකුළා ගැනීම සඳහා මුදල් ඉල්ලා සිටිති. ඒ එක් මොඩලයකි. එහෙම ඒවා, මේ රටේ අඩුය. නැතිම ගාණය. ඒ වෙනුවට වෙබ් කප්පම්කාරයෝ එමටය. මොකක් හෝ කතාවක් කොනකින් අල්ලාගෙන, වෙබ් අඩවියක පළ කරයි. එහි ඉතිරි කොටස දමනවා කියා ‘ඉත්තෙක්’ එවා, කීයක් හෝ අර මිනිහාගෙන් කඩා ගැනීම, එක් මොඩලයකි.
නැතිනම් කුලියට මඩ ගහන වෙබ් සහ යූටියුබ්කාරයෝය. ඔවුහු කාගේ හෝ දේශපාලන කොන්ත්‍රාත්තුවක් ගනී. හොඳට ඉන්න කෙනෙකුට කතා ගොතා මඩ ගසන්නට පටන් ගනියි. මෙහෙම අවස්ථා දේශපාලනයේ සිට තමන්ට අකැමැති වූ කතුන්, පිරිමින් ආදියට යන ‘පර්සනල් ඇටෑක්’ තෙක් දුර දිග යයි.
මහාචාර්ය චන්න ජයසුමන සෞඛ්‍ය රාජ්‍ය ඇමැති බවට පත්වන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේය. මේ රටේ සෞඛ්‍ය ඇමැතිකම භාර ගන්නවා කියන්නේ, නිළියක් සහේට ගන්නවා වගේ වැඩකි. ගත්ත දවසේ සිටම රටේ නැති කතාය. මහමඟ මිනිහෙක්ගේ හුස්ම ගියත් සෞඛ්‍ය ඇමැති ඉවරය. දොස්තරට බෙහෙතක් වැරදුණත් ඇමැති ඉවරය. මහාචාර්ය ජයසුමනට පහත් වූයේ ඊටත් වඩා හෙනගෙඩියකි.
මහාචාර්ය චන්න ජයසුමනගේ භාර්යාව තලවතුගොඩ ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි සැලකින් රේන්ජ් රෝවර් මෝටර් රථයක් මිල දී ගෙන ඇති බවට වෙබ් අඩවියක් පුවතක් පළ කළේය. ඔහොම මඩක් සයිබර් අවකාශයේ පළවන තෙක් බලා සිටින හිඟන හැත්තක් ද රටේ සිටින හෙයින්, මහාචාර්ය ජයසුමනට එරෙහි කතාව නැඟලා ගියේය. ගත්ත තැනේ සිට, වාහනයේ පින්තූර ආදිය දක්වා සියල්ල එක දිගට ෆේස්බුක් ආදියේ පළ වූ හෙයින්, ඕවා ගැන සැකයෙන් බලන එකා ද වැඩේ ඇත්ත යැයි සිතුවේය. ඔය මඩ එන්නෙම ඒ පාරේය. පළවෙනි වටයෙන් “දිනන්න බලාගෙන ඉන්න එවුන් අන්දන්නේය. ඊළඟ වටයෙන් යමක් කමක් තේරෙන එකා ද ඇඳගන්නේය.”
අතේ රෝල් ඔහොම පත්තු වන විට, අර මිනිහා විනාශය. මහාචාර්ය ජයසුමන වැඩේ අත්හැරියේ නැත. වෙබ් මඩයා උසාවියේදී හිර විය. අතේ රෝල් බෙල්ලේ ඔතාගෙන ඒ යකා ‘රෙදි නැතුවම’ සමාව ගත්තේය. චන්න ජයසුමන මේ ගත් මඟ වූ කලී, සියලු සයිබර් මඩයන් උදෙසා නියම ‘කෑමකි’.