පූර්ණ මුහුණු ආවරණ සහිත හෙල්මට් පැලඳ මන්නයක් රැගෙන පින්වත්ත ගාලු පාරේ සුපිරි වෙළෙඳ සැලකට මහ දවාලේ ඇතුළු වී රුපියල් පනස්එක්දහසක් සහ එහි පැමිණ සිටි කාන්තාවකගේ ගෙල බැඳි රන්මාලයක් කොල්ලකා යතුරුපැදියකින් පලා යමින් සිටි කොල්ලකරුවන් දෙදෙනෙකු මාදුපිටිය ප්‍රදේශයේ ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකුගේ ගෙල බැඳි රන්මාලයක්, ජංගම දුරකතනයක් සහ අත්බෑගය ද කොල්ලකා පලා ගොස් ඇති බවට ලද පැමිණිලි මත පින්වත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
එක් පුද්ගලයකු යතුරුපැදිය පණගන්වාගෙන සිටියදී අනෙක් සැකකරු මන්නයක් රැගෙන සුපිරි වෙළෙඳ සැලට ඇතුළුව මුදල් අයකැමි බියගන්වා ලාච්චුවේ තිබූ රුපියල් 51,000ක් පමණ කොල්ලකා, එහි භාණ්ඩ මිල දී ගැනීමට පැමිණ සිටි කාන්තාවක ද බියගන්වා ඇයගේ ගෙල බැඳි රන්මාලය කොල්ලකා පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
සැකකරුවන් පාණදුර මාදුපිටිය ප්‍රදේශය ඔස්සේ පලායමින් සිටියදී මහමඟ ගමන්ගත් කතුන් දෙදෙනෙකු ද බියගන්වා එක් තරුණියකගේ ගෙල බැඳි රන්මාලයක් කඩාගෙන, අනෙක් තරුණියගේ ජංගම දුරකතනය සහ අත්බෑගය කොල්ලකා ඇති බවටද හෙලිව ඇති බව පොලිසිය සඳහන් කරයි.
එදිනම බණ්ඩාරගම සහ අළුබෝමුල්ල ප්රදේශවලද රන්මාල කොල්ලකෑම් දෙකක් වාර්තාවන බවත් එකී සොරකම්ද සැකකරුවන් විසින්ම සිදුකර ඇද්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිසිය පවසයි.
වෙළෙඳ සැලේ ආරක්ෂක කැමරා පරීක්ෂා කර සැකකරුවන් හඳුනාගත් බවත් ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බවත් පාණදුර උසස් පොලිස් නිධාරීයෙක් පැවසීය.
පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක බණ්ඩාරගම - බිමල් ජයසිංහ