Home » පාණදුර මූලික රෝහලේ හෙදියකගේ ලියකියවිලි සොරාගෙන ණයක් ගත් හෙදිය අත්අඩංගුවට

පාණදුර මූලික රෝහලේ හෙදියකගේ ලියකියවිලි සොරාගෙන ණයක් ගත් හෙදිය අත්අඩංගුවට

by mahesh
September 27, 2023 1:05 am 0 comment

පාණදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ හෙදියකගේ මුදල් පසුම්බියක් සොරකම් කර එහි තිබූ ලියකියවිලි උපයෝගී කරගනිමින් ණය මුදලක් ලබාගත් එම රෝහලේම හෙදියක ඊයේ (26) අත්අඩංගුවට ගැනීමට පාණදුර දකුණ පොලිසිය සමත්ව ඇත.

පාණදුර මූලික රෝහලේ රාජකාරි කරන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි හෙදියක කළ පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.

ඉකුත් ජුනි 29 දා සිය මුදල් පසුම්බිය අස්ථානගතව ඇති බවට ඇය පැමිණිල්ලක් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් පාණදුර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පරීක්ෂණ සිදුකරන කාලසීමාවේ තමා ඉල්ලුම් කළ ණය මුදල ගිණුමට බැරවී ඇති බවට මූල්‍ය ආයතනයකින් පැමිණිලිකාරියට දැනගන්නට ලැබී ඇතැයි ද පොලිසිය කීය.

ඒ අනුව පොලිසිය පාණදුර පෞද්ගලික බැංකුවක ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමේදී එම රෝහලේම තවත් හෙදියක පැමිණ පැමිණිලිකාර හෙදියගේ ලියකියවිලි ඉදිරිපත් කරමින් ගිණුම විවෘත කරන බව නිරීක්ෂණය කිරීමෙන් පසු සැකකාර හෙදිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඇයගෙන් කළ ප්‍රශ්න කිරීමේදී සොරකම් කළ මුදල් පසුම්බියේ තිබූ රියදුරු බලපතක් උපයෝගී කරගනිමින් සිම් කඩ්පත් දෙකක් ලබාගෙන එය ද භාවිත කරමින් ඔන් ලයින් ක්‍රමයට ණය මුදලක් ලබාගෙන ඇති බවට හෙළිව ඇති බව පොලිසිය කීය.

සැකකාරිය විසින් සොරකම් කළ මුදල් පසුම්බිය සහ එහි තිබූ ක්‍රෙඩිට් කාඩ්පත් දෙකක් සහ නි‍ෙවසේ යතුරක් ද සොයාගත් බව පොලිසිය කීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ ප්‍රදේශයේ පදිංචි 32 හැව්රිදි හෙදියක බව පොලිසිය කීය.

සැකකාරිය පාණදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

පාණදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න සහ මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හේමාල් වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් සැරයන් ඉන්දික (9476), කොස්තාපල්වරුන් වන ජයවික්‍රම (99513), මධුමාල් (100103), බණ්ඩාරනායක (100014) සහ බණ්ඩාර (100265) වැටලීමට එක්වූහ.

පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක, බණ්ඩාරගම - බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Valibal Valibal
x