Saturday, May 10, 2025
Home » අපේ රටට මේ සති දෙක තීරණාත්මකයි

අපේ රටට මේ සති දෙක තීරණාත්මකයි

දිවයින මාධ්‍යවේදි ශ්‍යාම් නුවන් ගනේවත්තගේ ‘ආර්ථික ඝාතනය’ ජනගත කරමින් මුදල් රාජ්‍ය ඇමැති කියයි

by mahesh
September 27, 2023 1:00 am 0 comment

ජයසිරි මුණසිංහ සහ මහින්ද අලුත්ගෙදර

– ඉතාම දරුණු තැනක තිබූ රටේ ජනතාව ජීවත් වුණේ හරි අමාරුවෙන්:
– කවුරුත් විවේචන කළා මිස කාටත් පිළිගත හැකි විසඳුමක් ගෙනාවේ නෑ:
– ආර්ථිකය ගැන හැමවිටම ඔහු ප්‍රවෘත්ති පළ කළේ වගකීමෙන්

රටට අවශ්‍ය ප්‍රචණ්ඩත්වයට උනන්දු කරවන නියෝජිතයන්ද-නැති අයද කියා ජනතාව තීන්දු කළ යුතුයි
– මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

නිවැරැදි ප්‍රතිසංස්කරණ ස්ථාපිත කර ඒවා ස්ථාවර වීම දීර්ඝකාලීනව රටේ ආර්ථිකයට සහ ජනතාවට යහපත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මංපෙත් විවර කරන්නක් බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මීට මාස 15කට පමණ පෙර ශ්‍රී ලංකාව පැවැති තත්ත්වයට යළි පත් නොවීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මේ වනවිට රජයක් ලෙස ගෙන තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා ඒ තුළ විවේචන පැමිණිය හැකි නමුත් අවාසනාවකට විවේචනය කරන කිසිම කණ්ඩායමක් රටට පිළිගත හැකි, ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි විසඳුමක් ලබා දී නැති බව ද පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැති දිවයින මාධ්‍යවේදී ශ්‍යාම් නුවන් ගනේවත්ත මහතා විසින් රචිත ‘ආර්ථික ඝාතනය’ ග්‍රන්ථය ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා එහිදී මෙසේ ද පැවසීය.

‘කාලීන මාතෘකාවක් යටතේ අද මුහුණ දෙන ආර්ථික අර්බුදය ගැන එතැනට ගියේ කොහොමද?, ඒ වෙනුවෙන් ගත් පියවර ගැන ශ්‍යාම් නුවන් ගනේවත්ත මහතාගේ අදහස් ඒකරාශි කර තිබෙනවා. නිරන්තරයෙන් ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පළ කරන විට වගකීමෙන් කටයුතු කර තිබෙනවා. නිවැරැදි තොරතුරු සමඟ පැහැදිලි කර තිබෙනවා. ඒ වාර්තා කරන ප්‍රවෘත්තියේ විශ්වසනීයත්වය තහවුරු වන ආකාරයෙන් වාර්තා කර තිබෙනවා. ඇතැම් ප්‍රවෘත්ති විවිධ අවිනිශ්චිතතා සමඟ තමයි වාර්තා කරන්නේ. විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය සම්බන්ධයෙන්. ඇතැම් ප්‍රවෘත්ති වාර්තා කරනවා මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙන් සඳහන් කළා කියලා. නමුත් ඊට වඩා විශ්වසනීයත්වය පැහැදිලි කර කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් නම් අමාත්‍යාංශයක් විදියට ඒ කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න පුළුවන්. එවැනි තත්ත්වයන් ඇති නොවන්න ශ්‍යාම් නුවන් ගනේවත්ත කටයුතු කර තිබෙනවා. ඒ ගැන අපි ස්තුතිය පිරිනමනවා.

මේ සති දෙක අපේ රටට ඉතාම තීරණාත්මක සති දෙකක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයට අපි මුහුණ දෙනවා. එතැනදී අපි කොතෙක් දුරට එකඟතා සම්පූර්ණ කර තිබෙනවා ද? තවදුරටත් එකඟතා වර්ධනය කරගත යුතු ද? අපි වෙනස් කරගත යුතු ද? මෙතෙක් අපට සිවිල් සමාජයෙන් ලැබුණු කාරණා පිළිබඳව ආදිය සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කරනවා. මේ කාරණය ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. මේ ආර්ථිකය මේ තැනට අරගෙන එන්න මීට මාස 15කට පෙර පැවැති තත්ත්වයත් අද වනවිට තිබෙන තැනට එන්න සියලු දෙනා කළ කැපකිරීම් දෙස බලනවිට එහි ගෞරවය අදාළ කණ්ඩායම්වලට හිමි වෙනවා ද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙනවා. වගකීමෙන් කටයුතු කරද්දී අපට විවිධ බාධක තිබුණා. ඉතාම දරුණු තැනක මේ රටේ ජනතාව ඉතාම අපහසුතා මැද තමයි ගත කළේ. දීර්ඝ කාලීන සැලැස්මක් එක්ක නැවත එවැනි තැනකට රට ගමන් නොකරන්න අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වා දීලා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කර ඒ වෙනුවෙන් අනුමැතිය අරගෙන ඉදිරියට ගෙනයන්න රජයක් ලෙස අපි කටයුතු කරනවා.

අදටත් විවේචන එල්ල වන අවස්ථා තිබෙනවා. විවේචනවලට මුහුණ දෙන්න සූදානම් වගේම ඒ අඩංගු සාධාරණ කරුණු සම්බන්ධයෙන් කළ හැකි උපරිම මැදිහත්වීම කර සාධාරණය ගේන්න කටයුතු කරනවා. නමුත් බොහෝ අවස්ථාවල අපි දකින්නේ විවේචන පමණයි. විවේචන එල්ල වෙනවා. නමුත් වගකීම අරගෙන කටයුතු කරන්න කිසිවෙකු ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නිසා ඇතැම්විට ඒ විවේචනයේ කොතරම් සාධාරණයක් තිබුණත් වගකීමක් ගැනීමට කිසිවකු නැති නිසා ඒ අදාළ කාරණය සම්බන්ධයෙන් නිසි අවධානය යොමු නොවනවා වෙන්න පුළුවන්. ඒ නිසා මේ විවේචන, අදහස් පළ කිරීම, වෙනස් කළ යුතු දෑ සම්බන්ධයෙන් අදහස් පළ කිරීම ඉතාම සරලයි. නමුත් එතැනින් එහාට ක්‍රියාත්මක කිරීම ඉතාම සංකීර්ණයි. මේක පොදුවේ අපි සාධාරණව ක්‍රියාත්මක නොකරන්නේ නම් නැවත අපි අර්බුදයකට ගමන් කිරීම කිසිවකුට නවත්තන්න බැහැ. අපි රටක් ලෙස තේරුම් ගත යුතුයි දීර්ඝ කාලයක් නොකළ, මීට දශක කීපයකට පෙර සිදුවිය යුතුව තිබුණ ලොව අනෙක් රටවල් අනුගමනය කළ නිවැරැදි ක්‍රමවේද අනුගමනය නොකිරීම අද ආර්ථික අර්බුදයක් මැද නිවැරැදි ක්‍රමවේද අනුගමනය කරන්න යන ප්‍රතිසංස්කරණ අපිට ක්‍රියාත්මක කරන්න සිදු වෙනවා.

මෙතැනින් එහාට ගමන් කිරීම තීරණාත්මකයි. ඒ වගේම මේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ කොතෙක් දුරට ශක්තිමත් කරනවා ද කියන කාරණය තීරණාත්මකයි. එය ක්‍රියාත්මක කිරීමේ දී යම්කිසි අපහසුතාවක් රටේ ජනතාවට දැනෙනවා. ඒක රජයක් ලෙස අපි බැහැර කරන්නේ නැහැ. නමුත් නිවැරදි ප්‍රතිසංස්කරණ ස්ථාපිත කර ස්ථාවර වීම දීර්ඝකාලීනව රටේ ආර්ථිකයට සහ ජනතාවට යහපත් ජීවිතයක් ගත කරන්න දීර්ඝ කාලීන ආර්ථික වර්ධනයක් වෙත ලබන වසරේ සිට පිය නැඟීමට ප්‍රධාන කාරණාව වෙනවා. තවදුරටත් ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට මේ ගෙන යන වැඩපිළිවෙළට එහා ගිය, පිළිගත හැකි විශ්වසනීය ක්‍රමවේදයක් සම්බන්ධයෙන් අදහස් ඇත්නම් ඒවා අපට ලබාදෙන්න කියා ඉල්ලනවා.’

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා – ‘ශ්‍යාම් නුවන් ගනේවත්ත මහතා මාධ්‍යවේදියකු ලෙස තමන්ගේ අදහස් අනුව මේ ග්‍රන්ථය එළිදක්වා තිබෙනවා. මගේ සම්මුඛ සාකච්ඡාවක් ද මේ සඳහා එක් කර තිබෙනවා. දිගුකලක් ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ස්වාධීනව මත දරමින් ලිපි පළ කර තිබෙනවා. හැමෝම ඒ මහතාට ගරු කරනවා. මේක ඒ මහතාගේ පළමු ග්‍රන්ථය නොවෙයි. කෘති කීපයක් ලියා තිබෙනවා. මේක 20 වෙනි පොත. මේක මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය විසින් ගනු ලබන තීරණ පිළිබඳව විවිධ මත ඉදිරිපත් වන අවස්ථාවක ස්වාධීන අදහස් අනුව මේ ග්‍රන්ථය සම්පාදනය කර තිබෙනවා. ඒ මහතා හැම අවස්ථාවකම ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. පසුගිය කාලයේ පිරමීඩ වංචාවල දී මාධ්‍යවේදියකු වශයෙන් ජනතාව පැත්තේ සිට ලිපි ලියා තිබෙනවා. සංකීර්ණ දේ ඉතා සරලව ලියනවා.

ඒ අනුව ඒ විවාදවලට ඒ මහතාගේ දායකත්වය ලැබුණා. මුදල් අමාත්‍යාංශය සහ මහ බංකුව විසින් ව්‍යවස්ථාව උල්ලංඝනය කර මෙවැන්නක් කළ බවට යම් යම් මත පළවී තිබෙනවා. එවැනි අවස්ථාවක සාකච්ඡාව හොඳයි. යම්කිසි ආකාරයකින් මේ රටේ රාජ්‍ය නිලධාරියෙක් හෝ දේශපාලනඥයෙක් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කර තිබෙනවා නම් ඒ සඳහා නීත්‍යනුකූලව ක්‍රියාමාර්ග ගැනීම බලධාරීන්ගේ අයිතියක් මෙන්ම කළ යුතු දෙයක් වෙනවා. ඒ වෙනුවෙන් මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් මම සම්පූර්ණයෙන්ම සහාය දෙනවා. හිටපු ජනාධිපතිවරයා හෝ මුදල් ඇමැතිවරයා හෝ හිටපු බලධාරීන් හෝ දැනට ඉන්න බලධාරීන් විසින් ණය ගෙවීමේ නොහැකියාව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙනවා නම් වහාම ඒ පිළිබඳව පරීක්ෂණයක් කළ යුතු වෙනවා. ඒ සම්බන්ධයෙන් මහ බැංකුව වශයෙන් උපරිම සහාය දෙනවා. මුදල් අමාත්‍යාංශයත් ඒ වෙනුවෙන් සහාය ලබාදෙයි.

ආනන්ද සාගර හිමියන් සහ රවී කුමුදේශ් යන අය විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කළා. එය ඉතා ධනාත්මක පියවරක්. එවැනි දෑ සිදු කිරීමෙන් ජනතාවට දැන ගන්න පුළුවන් වෙනවා මෙය ව්‍යවස්ථා විරෝධී ද නැද්ද යන්න පිළිබඳව. මේ හැම ක්‍රියාවලියේදීම රටේ තිබෙන සිවිල් නීතිය යටතේ ක්‍රියාත්මක වෙනවා. එය හොඳ තත්ත්වයක්. නීතිය තමන්ගේ අතට ගෙන ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ඒ සඳහා විසඳුම් ලබාගැනීම අපි අනුමත කරන්නේ නැහැ. ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය නිසා මතයක් පළ වුණා දේශපාලනඥයන්ගේ ගෙවල් ගිනි තැබීමට හේතු වුණේ මේක කියලා. නමුත් ජනතා නියෝජිතයන් විසින් ප්‍රකාශ වුණා අපේ ගෙවල් ගිනි තබන්නේ නැතිව රජයේ නිලධාරීන්ගේ ගෙවල් ගිනි තබන්න කියලා.

එවිට දෙන පණිවිඩය කුමක්ද? ප්‍රචණ්ඩත්වයෙන් මේක විසඳා ගන්නවා ද? එසේ නැතිනම් ප්‍රචණ්ඩත්වය තුළින් මේක විසඳා ගන්න ජනතාවට ආරාධනා කරනවා ද යන්න ගැන තමයි මේ ප්‍රශ්නය ඇති වන්නේ. පසුගිය වසරේ මැයි මස 9 දා යම්කිසි ප්‍රචණ්ඩත්වයක් සිදුවන විට මම කීවා රටේ මෙවැනි ප්‍රචණ්ඩත්වයක් ඇතිවනවා නම් නීතිය හා සාමය කඩ වෙනවා නම් මම මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් සිටිය යුතු නැහැ. තවත් සතියක් තුළ මම ඉල්ලා අස්වෙන බවට එවකට සිටි ජනාධිපතිවරයාට මම දැනුම් දුන්නා. ඒ අවස්ථාවේ එතුමා පැවසුවා කලබල වෙන්න එපා. පවතින තත්ත්වය සමනය කරන්නම් කීවා. ඒ අනුව ප්‍රචණ්ඩත්වය කුමන ආකාරයකින් හෝ අනුමත කරන්නේ නැහැ. අපි එය ප්‍රතික්ෂේප කළ යුතුයි. නමුත් අවාසනාවකට විවිධ දේ ප්‍රකාශ කරන මහජන නියෝජිතයන් මේ රටේ ඉන්නවා. මින් ඉදිරියට කුමක් හෝ සිදුවුණොත් අපේ ගෙවල් ගිනි තබන්න එපා. නිලධාරීන්ගේ ගෙවල් ගිනි තබන්න කියන ජනතා නියෝජිතයන් ද අපි දැක තිබෙනවා.

ඒ නිසා තමයි මේ පොතේ වැදගත්කම තිබෙන්නේ. ඉදිරියේ දී අපේ රටේ ජනතාව තීන්දුවක් ගන්න ඕනෑ කුමන නියෝජිතයන් ද තෝරා ගත යුත්තේ කියලා. ප්‍රචණ්ඩත්වයට උනන්දු කරවන අය ද නැතිනම් රටේ නීතිය හා සාමය තුළ පාර්ලිමේන්තුව, ව්‍යවස්ථාදායකය, අධිකරණය ආදියෙන් සාකච්ඡාමය ලෙස ප්‍රශ්න විසඳන්න හැකි පිරිසක් ද යන්න තීරණය කළ යුතුයි. අපි මහ බැංකුව වශයෙන් විවෘතව අදහස් දැක්වීමට අවස්ථාව දෙනවා. ඇතැමුන් පසුගිය කාලයේ කීවා 1000ක් ගෙනත් මහ බැංකුව වට කරන්න පුළුවන් කියලා. නමුත් 1000 ගෙනත් මහ බැංකුව වට කරන්න අවශ්‍ය නැහැ. අපට නීතිමය ක්‍රියාමාර්ග තිබෙනවා. උසාවියේ නඩු දාන්න පුළුවන්. එවිට අපි කරුණු දක්වනවා. එසේ නොවන්නේ නම් අපි සාකච්ඡා කරන්නත් ලෑස්තියි. ශ්‍යාම් නුවන් ගනේවත්ත මහතා තමන්ගේ ආර්ථික විද්‍යා දැනුමෙන් මේ කරන සේවය ඉතා වැදගත්.’

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න, ප්‍රංශයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිනී මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම, විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය නලින් අබේසේකර, මොරටුව විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පීඨයේ පිඨාධිපති දිනේෂ් සමරසිංහ, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන, දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර, දිවයින ප්‍රධාන කර්තෘ නාරද නිශ්ශංක, ඉරිදා දිවයින ප්‍රධාන කර්තෘ උදේශ සංජීව ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT