රුපියල් ලක්ෂ 30ක අගරු චෙක්පතක් ලබා දී සිදු කළ මුදල් වංචාවක් සම්බන්ධයෙන් ජපන් ජාතිකයකු කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් පෙරේදා (25) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වංචාව සිදු කර ඇත්තේ හම්බන්තොට ප්‍රදේශයේ යතුරුපැදි ධාවන පථයක් ඉදිකිරීමට මුදල් ආයෝජනය කිරීමට යැයි කියා මහරගම පදිංචි යතුරුපැදි ආනයනකරුවෙකුගෙන් ව්‍යාපෘති වාර්තාවක් සකස් කරගනිමින් ඒ වෙනුවට ඔහුට කළ ගෙවීම් වශයෙන් අගරු චෙක්පතක් ලබා දෙමින් බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය සඳහන් කළේය.
මෙම යතුරුපැදි ආනයනකරු පවසා ඇත්තේ එම ව්‍යාපෘති වාර්තාව වෙනුවෙන් තමාට රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් වැය වී ඇති බවය. එම වාර්තාව ජපන් ජාතිකයාට ලබා දීමෙන් පසු ඔහු මුදල් නොගෙවා මඟහැර ඇති බවත් යතුරුපැදි ආනයනකරු පෙරැත්ත කරන විට ඔහුට අගරු චෙක්පත ලබා දී ඇති බවත් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය සඳහන් කළේය.
මෙම ජපන් ජාතිකයා තමන් ආයෝජකයෙක් ලෙස පෙනී සිටිමින් ව්‍යාපෘති වාර්තා සකස් කර ගනිමින් ජපානයේ ව්‍යාපාරිකයන්ට එම ව්‍යාපෘති වාර්තා අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටින බව විමර්ශනවලින් අනාවරණය වූ බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම ජපන් ජාතිකයාට එරෙහිව මෙවැනි චෝදනා රැසක් ඇති බවත් මෙයට පෙරත් අත්අඩංගුවට පත්වූ අයකු බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ජපන් ජාතිකයා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇත.