Home » සංචාරක ව්‍යාපාරය තුළ සූපවේදයට විශේෂ වූ ස්ථානයක් හිමි වෙනවා

සංචාරක ව්‍යාපාරය තුළ සූපවේදයට විශේෂ වූ ස්ථානයක් හිමි වෙනවා

by mahesh
September 27, 2023 1:00 am 0 comment

නෙත්මි පූජනී රත්නායක

අංශ රැසක් ඔස්සේ විහිදී යන සංචාරක ව්‍යාපාරය තුළ සූපවේදය සඳහා විශේෂ ස්ථානයක් හිමිවන බව සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කළාය.

ඒ මහත්මිය මේ බව පැවසුවේ අද දිනට (27) යෙදෙන ලෝක සංචාරක දිනය නිමිත්තෙන් සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් මහඟු මෙහෙවරක් ඉටුකළ ආචාර්ය දේශබන්දු පබිලිස් සිල්වා මහතා ඇගැයීම වෙනුවෙන් බත්තරමුල්ලේ පිහිටි සංචාරක රාජ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (26) පැවති උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය-

අද මෙරට සංචාරක ක්ෂේත්‍රය තුළ සූපවේදය යන්න අමතක කර තිබෙනවා. නමුත් ඒ සඳහා විශේෂ ස්ථානයක් හිමිවිය යුතුයි. කෑම වේලක රසය සම්බන්ධයෙන් සංචාරකයන් විශේෂ අවධානයක් යොමු කරනවා.

අපි මිනිසුන් හැටියට ජීවත් වෙන්න අත්‍යවශ්‍යයම අවශ්‍යතා තුනක් තියනවා. ඒකෙන් පළවැනි වැදගත්ම දේ තමයි කෑම බීම. ඊළඟට තමයි ඉඳුම් හිටුම් සහ ඇඳුම් පැලඳුම්. සතෙක් වුණත් ජීවත් වෙන්න කෑම බීම අවශ්‍යයයි. ඒක තමයි අපේ ජීවිතේ ප්‍රමුඛත්වය. අපි හැමෝම මේ රැකියා කරන්නෙ සහ මේ සියලු දේම කරන්නෙ අපි අපේ දරුවන්ට කන්න බොන්න දෙන්න සහ අපිට කන්න බොන්න. මොකද අපිට ජීවත් වෙන්න පුළුවන් කෑවොත් බිවුවොත් විතරයි. මේ ඇගැයීම රටේ ඉතිහාසයට එක්වන සූපවේදී ඇගැයීමක්. මම ඇත්තටම නිහතමානීව ආඩම්බර වෙනවා. මේක කවුරුවත් මේ රටේ මීට පෙර කරලා නැති දෙයක්. අපි මතක තියාගන්න ඕනෙ විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ අපි සියලු දෙනාම දවසෙ කොච්චර වේලාවක් කුස්සියේ ගත කරනව ද කෑම වේලක් හදා ගන්න. අපිට මේක කාලා ඉවර කරන්න යන්නෙ විනාඩි දහය වුණාට මේ කෑමවේල ලෑස්ති කරන්න සෑහෙන වේලාවක් අපි යොදවනවා මුළුතැන්ගෙයි. එහෙම නම් මේක ලේසි අහසු වැඩක් නොවෙයි. මේකට මනසක් වෙහෙසන්න ඕනේ. අපේ පබිලිස් මහතා කිවුවා වගේ ආදරයත් මේකට එකතු වුණාම තමයි ඒ කෑම වේල රසවත් වෙන්නෙ. ඒක හරියටම හරි. මම ඒක පිළිගන්නවා.

ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා-

දැනට වසර පහක ඉදලා ඛේදනීය තත්ත්වයක් තමයි තිබුණේ සංචාරක ක්ෂේත්‍රයේ. එවැනි අවස්ථාවකදී ඉතාමත්ම දුක්ඛිත කාල පරිච්ඡේදයක් ගත කරලා පාස්කු ප්‍රහාරය, කොවිඩ් ව්‍යසනය, දේශපාලන සහ ආර්ථික අර්බුදය. මේ තුනටම ගොදුරු වෙච්ච පිරිසක් තමයි අපේ මුළු රටේම ඉන්න සංචාරක ක්ෂේත්‍රයේ සියලුම දෙනා. ගොඩක් කාලෙකට පස්සෙ තමයි අර්ථ පූර්ණ වුණ වැඩසටහනකට ආරම්භය දීලා තියන්නෙ. මේ වැඩසටහන බොහොම සාර්ථකයි.

විශාල අරමුණක් සහිත වැඩසටහනක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. මොකද හෙට දවසේ සංචාරක ව්‍යාපාරය විතරක් නොවෙයි අපෙන් නිර්මාණශීලී අය බිහි වෙන්නට ඕනේ. ඒ නිර්මාණශීලී අය බිහි වෙන්නෙ විවිධ ක්ෂේත්‍රවලින්. ඒ නිසා මම හිතනවා අපේ ආචාර්ය පබිලිස් සිල්වා මැතිතුමාව රාජ්‍ය අමාත්‍යාංශයක් හැටියට සම්බන්ධ කරගෙන මේ ආරම්භ කරන්න යන ව්‍යාපෘතිය දැවැන්ත ව්‍යාපෘතියක්. ඒක නිසා මම ඒ පිළිබඳව ඉතාමත්ම සතුටු වෙනවා.

ප්‍රවීණ සූපවේදී දේශබන්දු ආචාර්ය පබ්ලිස් සිල්වා, ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් ගුණරත්න මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

ඡායාරූපය – විමල් කරුණාතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT