ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධාන කරනු ලබන ‘INFOTEL තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය’ නොවැම්බර් මස 03 වැනිදා සිට 05 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ.
‘ඩිජිටල් ආර්ථිකය සවිබල ගැන්වීම’ වන තේමාව යටතේ පැවැත්වෙන ප්‍රදර්ශනය තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ සංවිධාන කරයි.
මේ පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ සාකච්ඡාවක් තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී ඊයේ (26) පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය දියුණු කිරීමට මේ ප්‍රදර්ශනය බෙහෙවින් ඉවහල් වන බවයි. එසේම ඩිජිටල් ආර්ථිකය පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය සමඟ සම්බන්ධවීම, ජාල සම්බන්ධතා වැඩි දියුණු කිරීම සහ පුළුල් කිරීම, ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය, ඩිජිටල් පද්ධති සහ විසඳුම් සුරක්ෂිත කිරීම, මුදල් රහිත ගනුදෙනු දිරිගැන්වීම, ඩිජිටල් ආර්ථිකය දියුණු කිරීම සඳහා අවශ්‍ය මානව සම්පත් වැඩි දියුණු කිරීමට මේ ප්‍රදර්ශනයෙන් මහඟු අවස්ථාවක් සැලසෙන බව ද රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය. සංවර්ධිත රටවල් සිය මහජන සේවා ඩිජිටල්කරණයට ලක් කර ඇති බවත්, එමඟින් කාර්යක්ෂමතාව ඉහළ ගොස් ඇති බවත් පෙන්වා දුන් රාජ්‍ය ඇමැතිවරයා 2030 වසර වන විට ඩිජිටල්කරණය වූ ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ රජයේ වැඩපිළිවෙළ සාක්ෂාත් කර ගැනීමේ අරමුණ වෙනුවෙන් ‘INFOTEL තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය’ සංවිධාන කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලයට ස්තුතිවන්ත වන බවත් පැවසීය. මෙහිදී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලයේ සභාපති ඉන්දික ද සොයිසා මහතා අදහස් දක්වමින් සඳහන් කළේ 2030 වසර වන විට ඩිජිටල් ආර්ථිකය තුළින් අමෙරිකානු ඩොලර් බිලියන 15ක මුදලක් රාජ්‍ය ආදායමට ලබා දීමට අපේක්ෂා කරන බවය. ඩිජිටල් නවෝත්පාදන පරිසර පද්ධතියක් මෙන්ම ඩිජිටල් සාක්ෂරතාව වැඩි දියුණු කිරීම සහ මෙරට ඩිජිටල් තාක්ෂණය භාවිතය ප්‍රවර්ධනයට මේ ප්‍රදර්ශනයෙන් හැකියාව ලැබෙනු ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
මේ ප්‍රදර්ශනය වෙනුවෙන් අනුග්‍රහය ලබා දෙන අනුග්‍රාහක චෙක්පත් ප්‍රදානය කිරීම ද මෙහිදි සිදු විය.
තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ, සංවිධායක කමිටුවේ සභාපති ‘INFOTEL’ ඥානම් සෙල්ලතුරෙයි මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.