බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව නැවත වතාවක් රිච්ටර් පරිමාණයේ ඒකක 2.4ක සුළු භූකම්පනයක් පෙරේදා (25) රාත්‍රී 11.20ට පමණ හටගෙන තිබේ. එය මෙම වසරේ බුත්තල, වැල්ලවාය ප්‍රදේශය ආශ්‍රිතව ඇති වූ 06 වැනි භූකම්පනය බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රකාශිකාවක පැවසුවාය.
විජයානු සහ උස්බිම් ශ්‍රේණි යන පාෂාණ කලාප අතර මායිමක බුත්තල වැල්ලවාය ප්‍රදේශ පිහිටා තිබීම හේතුවෙන් මෙම භූකම්පන තත්ත්වයන් ඇති වන බවට උපකල්පනය කෙරිය හැකි බව භූකම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානයේ එම ප්‍රකාශිකාව පැවසුවාය. දැනට පෙනෙන්නට තිබෙන දත්ත අනුව එවැන්නක් සිතිය හැකි යැයි ද ඇය ප්‍රකාශ කළාය. ඒ පිළිබඳ තහවුරු කර ගැනීමට අධ්‍යයන කටයුතු සිදු කරමින් පවතින බව ද ඇය පැවසුවාය.
අඩු ගැඹුරක මෙම භූචලනය සිදු වී ඇති අතර මෙසේ ඇති වූ ඇතැම් භූකම්පන ජනතාවට එතරම් දැනී නැත. හක්මණ, බුද්ධන්ගල, මහකනදරාව, පල්ලෙකැලේ පිහිටි භූකම්පන මානවල මෙම වර්ෂය තුළ බුත්තල වැල්ලවාය ප්‍රදේශ ආශ්‍රිතව සිදුවූ භූකම්පන 06ක් පිළිබඳ සටහන් වී ඇත.
මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර, නක්කල, බුත්තල හිදිකිවුල ඇතුළු ප්‍රදේශ රැසක ජනතාවට භු කම්පනය දැනුණු බව ප්‍රදේශවාසීහු පවසති.