Saturday, May 10, 2025
Home » සියලු සේවකයන්ට පොදු සමාජ ආරක්ෂණයක්

සියලු සේවකයන්ට පොදු සමාජ ආරක්ෂණයක්

by mahesh
September 27, 2023 12:55 am 0 comment

අනුර ප්‍රේමලාල්

සියලුම ක්ෂේත්‍රවල ශ්‍රමිකයන් ආවරණය වන පරිදි පුළුල් ජාතික සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

ජාතික වශයෙන් ක්‍රියාත්මක පුළුල් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම ජාතික සමාජ ආරක්ෂණ ක්‍රමවේදය සකස් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කර ඇත.

මේ වන විට සීමිත ක්ෂේත්‍ර කිහිපයක් පමණක් ආවරණය වන කුඩා පරිමාණයේ සමාජ ආරක්ෂණ ක්‍රමවේද කිහිපයක් ක්‍රියාත්මක වන නමුත්, ඒවායේ පවතින දුර්වලතා මඟහරවන ජාතික සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් ඉදිරියේදී සකස් කිරීමට කටයුතු කරනු ඇත.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම් ආර්.පී.ඒ. විමලවීර මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් පසුගියදා ඉන්දුනීසියාවේ සංචාරය කළ අතර මේ වන විට එරට තුළ ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ ක්‍රමවේදය සම්බන්ධයෙන් ඔවුන් අවධානය යොමු කරනු ලැබීය.

ජපන් රජයේ සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අනුග්‍රහයෙන් ඉන්දුනීසියානු සමාජ සුබසාධන ක්‍රමවේදය පිළිබඳ අධ්‍යයනය කළ නියෝජිත කණ්ඩායම එම ක්‍රමවේදය ලංකාවට අනුගත කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කරනු ලැබුවේය. නව විරැකියා රක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් විධිමත් සහ අවිධිමත් අංශ දෙකෙහිම ශ්‍රමිකයන්ට වඩාත් යුක්ති සහගත සහ සුරක්ෂිත රැකියා පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පරිසරය මෙමගින් නිර්මාණය කිරීමට කටයුතු කරනු ඇත. ඉන්දුනීසියානු අත්දැකීම් ලංකාවට අනුගත කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඇතුළු සම්බන්ධිත පාර්ශවයන් සංවාද සැසියක් ආරම්භ කර ඇති අතර මෙම අත්දැකීම් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් සමඟ හුවමාරු කරගැනීමට නියමිතය. මූල්‍ය සහ නෛතික ක්‍රියාකාරී සැලසුම් සහිත සමාජ ආරක්ෂණ වැඩසටහනේ මූලික අංග ඇතුළත් කැබිනට් සටහනක්ද සකස් කිරීමට නියමිත අතර ජනාධිපති සමාජ ආරක්ෂණ කමිටුවේ අවධානය සඳහා දළ සටහන් හා යෝජනා ඉදිරිපත් කිරීමට ද නියමිතය. මීට අමතරව ඉදිරියේදී සිදුවන පරිවර්තනීය සමාජ සුබසාධන වෙනස්කම් සම්බන්ධයෙන් පුරවැසියන් දැනුවත් කිරීම සඳහා පුළුල් දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කිරීමට ද නියමිතව ඇත.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සම්බන්ධයෙන් වන අධ්‍යක්ෂ සිම්රින් සිං මහත්මිය මෙම වැඩසටන සඳහා සක්‍රීය දායකත්වය හා සහාය ලබා දෙති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT