බස් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පහරදී පිහි ප්‍රහාරයක්ද එල්ල කොට ගම්පොළ ජයමාලපුර ප්‍රදේශයේදී වෑන් රථයකට ගොඩ කරගෙන පැහැරගෙන ගිය පුද්ගලයන් පස්දෙනෙකු කොළඹ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන සිද්ධියට මුල් වී ඇති පෞරාණික යැයි සැක කරන කඩුව හා වෑන් රථය සමඟ ඔවුන් ගම්පොළ පොලිසිය වෙත රැගෙන ආ බව පොලිසිය පවසයි.
මොවුන් මෙම පුද්ගලයා පැහැර ගැනීමට කොළඹ සිට වෑන් රථයකින් පැමිණි පුද්ගලයන් බව පොලිසිය පවසයි.
මෙම පිරිස අතර කාන්තාවක්ද වේ.
කොත්මලේ මාවෙල සිට මහනුවර දක්වා ධාවනය වූ බස් රථයකට කඩදොර ප්‍රදේශයෙන් ගොඩවී ඇති හේමන්ත රාජපක්ෂ නමැති පුද්ගලයාට මෙම පිරිස පහරදී පිහියකින් ද තුවාල කොට කඩුවක් පිළිබඳව විමසා ඇති අතර පසුව ගම්පොළ ජයමාලපුර ප්‍රදේශයේදී වෑන් රථයක් හරස්කොට බස් රථය නවතා එම පුද්ගලයා පැහැරගෙන ගොස් තිබුණේ පසුගිය 24 වැනිදා අලුයම පහටය.
පැහැරගත් පුද්ගලයා කොළඹ ඔරුගොඩවත්ත ප්‍රදේශයට රැගෙන ගොස් එහිදී ඔහු විසින් එම කඩුව විකුණා තිබූ පුද්ගලයාගෙන් එම පිරිස එය ලබාගෙන තිබුණි.
පසුව මෙම පුද්ගලයා ඔවුන්ගෙන් මිදී ගම්පොළට පැමිණ සිද්ධිය පිළිබඳව ගම්පොළ පොලිසියට පැමිණිලි කර තිබේ.
අනතුරුව තුවාල වී සිටි මොහු ගම්පොළ රෝහලට ඇතුළත් කර ඇත. ලබාගත් තොරතුරු අනුව ගම්පොළ පොලිස් නිලධාරීන් කොළඹ ප්‍රදේශයට ගොස් විවිධ ස්ථානවල සිටි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඒ සඳහා යොදා ගත් වෑන් රථය හා කඩුව ද සොයාගෙන මෙලෙස ගම්පොළ පොලිසිය වෙත ගෙනැවිත් ඇත. මෙම කඩුවේ පෞරාණික වටිනාකමක් තිබේ ද යන්න සොයා බැලීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත දැනුම් දීමට පියවර ගන්නා බව ගම්පොළ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පවසයි. සැකකරුවන් ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සුරංග දිල්හාන්