පොල්පිතිගම ප්රාදේශීය සභාව යටතේ පාලනය වෙන ගල්ටැන්වැව සිකුරාදා සතිපොළ භූමියේ වෙනදා නිදහසේ වෙළඳාම් කළ පෙදෙස් දැන් වාහන නවතා තබන රථ ගාලක් බවට ඇති බැවින් වෙළෙඳාම් කරන්නන් දැඩි අසරණතාවයකට පත්ව සිටිති.
වෙනදා මාවත දෙපස හා ඒ වෙනුවෙන් තිබු පුද්ගලික රථ ගාල්වල නවතා තැබු වාහන දැන් මෙලෙස රථ ගාලේම නවතා තැබීම වහාම නවතා දමන ලෙසට පොල්පිතිගම ප්රාදේශීය සභාව කොතෙක් දැනුවත් කළත් ඊට කිසිදු සාධාරණත්වයක් මේ තාක් ඉටු වී නැතැයි වෙළෙන්දෝ පැවසූහ.
තම තමන් වෙළෙඳාම් කරන පෙදෙස් වෙනුවෙන් ප්රාදේශීය සභාවට බදු ගෙවන නමුත් එසේ බදු ගෙවන පෙදෙස් වාහන නවතා අවහිර කිරීම වැරදි බවත්, ඒ ගැටලුවලට විසඳුම් නොදී ප්රාදේශීය සභාව බදු අය කිරීම පමණක් අසාධාරණ බවත් ඔවුහු පෙන්වා දුන්හ.
ඒ පිළිබඳව වත්මන් පොල්පිතිගම ප්රාදේශීය සභාවේ ලේකම් නිමල් රත්නායක පවසන්නේ මෙවැන්නකි.
මම වැඩ ආවරණය කරන ලේකම්වරයෙක්. බදාදා හා සිකුරාදා දිනවලදී මෙම සභාවේ වැඩ ආවරණය කරනවා. නමුත් එසේ වැඩ ආවරණය කළත් මෙම ගැටලුව මම මේතාක් දැන සිටියේ නැහැ. වහාම සොයා බලා ගැටලුවක් ඇත්නම් එයට සාධාරණත්වයක් ඉටු කරන්නම් යැයි පැවසීය.
පොල්පිතිගම - නන්දන කැලේගම